පුත්තලම - කොළඹ  විශේෂ රථවාහන සැලැස්මක්

පුත්තලම - කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

November 1, 2014   02:45 pm

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

අද(01) උදෑසන 10.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව සඳහන් වෙයි.

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගය හරහා වැටි ඇති මානවේරිය දුම්රිය හරස් මාර්ගය අළුත්වැඩියා කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව පොලිසිය පැවසුවේය.

මේ හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලීමක් ද කරයි.

ඒ අනුව හලාවත සිට ගමන් කරන රථ වාහන බංගදෙණිය ආණමඩුව මාර්ගයේ ආඩිගමට ගොස් වමට හැරි කීරියන්කල්ලියෙන් දකුණට හැරි පුත්තලම මාර්ගයට පිවිසිය හැකිය.

එමෙන්ම පුත්ලම දෙස සිට පැමිණෙන වාහන කීරියන්කල්ලියෙන් වමට හැරි ආඩිගමට ගොස් දකුණට හැරි බංගදෙනියට පැමිණ වමට හැරි හලාවත දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය පැවසුවේය.