අධිකරණ තීන්දුව ගැන ඉන්දීය අගමැති සහ ජනපති අතර සාකච්ඡාවක්

අධිකරණ තීන්දුව ගැන ඉන්දීය අගමැති සහ ජනපති අතර සාකච්ඡාවක්

November 1, 2014   11:13 am

ශ්‍රි ලංකා අධිකරණයක් මගින් ඉන්දීය ජාතිකයින් පිරිසකට ලබා දුන් මරණ දඬුවම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

මෙම මස අගදී කත්මණ්ඩු අගනුවර දී පැවැත්වෙන සාක් සමුළුවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙහිදි ඉන්දු ශ්‍රී ලංකා ධිවර ගැටලුව සම්බන්ධයෙන් වර්තමානයේ පවතින තත්ත්වයන් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වෙතත් අධිකරණය මගින් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ඉන්දීය මධ්‍යම රජය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ අධිකරණය මගින් මරණ දඬුවම ලබා දුන්න ද එය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අදාළ තීන්දුව පිළිබඳව ජනාධිපති කාර්යාලය දැනුවත් කිරීමට පියවර ගත් බව ද ඉන්දීය මධ්‍යම රජය ප්‍රකාශ කර තිබේ.

මේ අතර තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ඕ. පනීර් සෙල්වම් පවසා ඇත්තේ අදාළ මරණ දඬුවමට ලක්වු පිරිස නිදහස් කර ගැනීමට හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉන්දීය රජය කඩිනමින් කටයුතු කරන බවයි.