නඩුව විභාගවෙද්දී පස්ස දොරෙන් තනතුරු බෑ

නඩුව විභාගවෙද්දී පස්ස දොරෙන් තනතුරු බෑ

November 1, 2014   06:29 am

තම සංගමය ගොනුකළ නඩුවක් විභාග වෙමින් තිබියදී අධ්‍යාපන පරිපාලන සේවයේ රාජකාරි ආවරණය කරන පිරිසකට සම්මුඛ පරීක්ෂණ පවත්වා පස්ස දොරෙන් තනතුරු දීමට සූදානමක් පවතින බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.

ආණ්ඩුව විසින් ජනාධිපතිවරණයකට සූදානම් වෙමින් පවතින අවස්ථාවක අධ්‍යාපන කාර්යාලවල දේශපාලන හිතවත්කම් මත වැඩබලන පත්වීම් ලබමින් අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවල රාජකාරි ආවරණය කරන පිරිසට ස්ථිර පත්වීම් ලබාදීමට සම්මුඛ පරීක්ෂණ මේ වන විට කැඳවා ඇත.

අධ්‍යාපන පරිපාලන සේවයේ තරග විභාගවලින් සමත්ව ඉහළ ලකුණු ලබාගත් පිරිස් සිටියදී මෙම දේශපාලන හෙංචයියන්ට තනතුරු දීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සූදානම්වීම ලංකා ගුරු සංගමය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකී.

2010.12.31 දින නිකුත් කරන ලද අංක 1687 ගැසට් පත‍්‍රයට අනුව තරග විභාගයක් කැඳවා අධ්‍යාපන පරිපාලන සේවයේ සසස පන්තියට නිලධාරීන් 410 ක් බඳවා ගැනීමෙන් අනතුරුව වැඩ ආවරණය කරනවා යයි විධිමත් නොවන පරිදි දේශපාලන හා වෙනත් හිතවත්කම් මත පත් කරන ලද නිලධාරීන් 783 දෙනෙක් අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා 2012/ED/E/13 අංකයෙන් කැබිනට් පති‍්‍රකාවක් යොමු කර තිබුණි. එම කැබිනට් පති‍්‍රකාව සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිවරයා, කැබිනට් මණ්ඩලය ඇතුළු 66 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ලංකා ගුරු සංගමය සහ පළමු පන්තියේ විදුහල්පතිවරු 50 දෙනෙක් අභියාචනාධිකරණයට CA(W/A)96/13 අංකයෙන් පෙත්සමක් ගොනු කරන ලදී.

මෙම පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කිරීමෙන් අනතුරුව පෙත්සම් විභාගය මේ වන විට සිදුවෙමින් තිබේ. මෙම පෙත්සම් විභාගය 2014.11.27 වෙනි දින නැවත විභාගයට ගැනීමට ද නියමිතය. එසේ තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අධ්‍යාපන සේවා ආයතන) තුෂාරා ඞී. පතිරණගේ මහත්මියගේ අත්සනින් මෙම වැඩ ආවරණය කරන නිලධාරීන් සඳහා සම්මුඛ පරීක්ෂණයක් 2014.11.07 වෙනි දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම වැඩබලන අධ්‍යක්ෂවරු යයි සඳහන් කරන පිරිස ඉහත පෙත්සමට ඇතුළත් වීමට SC(SPL)LA52/14 අංකයෙන් යුත් පෙත්සමකින් අභියාචනාධිකරණයෙන් අවසර පතන ලදී. අභියාචනාධිකරණය ඔවුන්ට එසේ ඇතුළත්වීමට අවසර දීම හා එම පෙත්සම 2014.02.25 දින ප‍්‍රතික්ෂේප කරන ලදී.

අනතුරුව ඔවුහු SCFR388/2014 අංකයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ සම්බන්ධයෙන් පෙත්සමක් ගොනුකළ අතර එය දීර්ඝ කරුණු දැක්වීමකින් අනතුරුව 2014.09.11 වන දින ප‍්‍රතික්ෂේප කරන ලදී.

වැඩබලන අධ්‍යක්ෂවරු යයි කියා ගන්නා පිරිසගේ ඉල්ලීම් ඉහත සඳහන් කළ පරිදි ප‍්‍රතික්ෂේප වී ඇති තත්ත්වයක හා අභියාචනාධිකරණයේ අදාළ පෙත්සම් විභාගය පැවැත්වෙමින් තිබියදී මෙවැනි සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව විධිමත් විමර්ශනයක් කොට එම සම්මුඛ පරීක්ෂණ නතර කරන ලෙසත්, රාජ්‍ය සේවා කොමිසමේ නියෝග පරිදි යයි සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් ලිපි යොමු කොට සිදුකරන මෙම සම්මුඛ පරීක්ෂණ කි‍්‍රයාවලිය අත්හිටුවීමට කටයුතු කරන ලෙසත් ලංකා ගුරු සංගමය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.