අනවසර ධීවර යාත්‍රා බෑ - ජනපති උපදෙස්

අනවසර ධීවර යාත්‍රා බෑ - ජනපති උපදෙස්

October 31, 2014   07:00 am

අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු වල නිරත වන යාත්‍රා නැවැත්වීමට සහය වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාවික හමුදාවට උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම තහනම් කර ඇති පන්න ක්‍රම උපයෝගී කරගැනීම වහාම නැවැත්වීමට පියවර ගැනීමට ද ජනාධිපතිවරයා නාවික හමුදාවට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ධීවර සමිති නියෝජිතයින් සමග ඊයේ පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් ලබාදී තිබේ.

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ මාළු මිලදි ගැනීමට පනවා ඇති තහනම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දි ඇති බව එම මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

මීට අමතරව ගැඹුරු මුහුදේ නිරත වන ධීවර යාත්‍රා ලියාපදිංචි ගාස්තුව රුපියල් 15,000ක සිට රුපියල් 5000 දක්වා අඩු කිරීමටද ජනාධිපතිවරයා මෙහිදි තීරණය කර තිබේ.

ධීවරයින්ගේ මාළු ස්ථාවර මිලකට ධීවර සංස්ථාව මගින් මිලදි ගැනිමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා ධීවර අමාත්‍යවරයාට මෙහිදි උපදෙස් ලබා දි ඇති බව වාර්තා වේ.

කරවල කර්මාන්තයේ නියුතු වන්නන්ට හිඟයකින් තොරව මාළු සැපයීමට කටයුතු කරන ලෙස ද එහිදි ධීවර සංස්ථාවට උපදෙස් ලැබී තිබේ.