ටී.එන්.ඒ. මන්ත්‍රීන්ට ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේපයි

ටී.එන්.ඒ. මන්ත්‍රීන්ට ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේපයි

October 30, 2014   03:18 pm

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත ලිපියක් යැවු උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නැයි ඉල්ලමින් ගොනුකර තිබු පෙත්සමක් අභියාචනාධිකරණය අද(30)  ප්‍රතික්ෂේප කර තිබේ.

දේශමාමක ජාතික ව්‍යාපාරය නැමැති සංවිධානයක් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබු බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකා යුද හමුදාවට චෝදනාකරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ වෙත අදාළ මන්ත්‍රීවරු ලිපියක් යොමු කර ඇති බව එම පෙත්සම මගින් චෝදනා කර තිබුණි.

අදාළ ලිපිය මගින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට ද එම පෙත්සමේ සඳහන් කර තිබේ .

එසේම අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නැයි පොලිස්පතිවරයාට නියෝගයක් පනවන මෙන් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන් වෙයි.

අදාළ පෙත්සම අද කැඳවු අවස්ථාවේ දී නීතිපතිවරයා අධිකරණය හමුවේ කියා සිටියේ මේ සම්බන්ධයෙන් පොලිසියට කිසිදු පැමිණිල්ලක් ලැබි නොමැති බවයි.

එම නිසා ඊට අදාළව පරීක්ෂණයක් කළ නොහැකි බව ද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

මීට අදාළව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට අධිකරණය දැනුම්දි තිබේ.

පැමිණිල්ල පිළිබඳ පොලිසිය සාධාරණ පරීක්ෂණයක් නොකරන්නේනම් නැවතත් පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන්ට හැකියාවක් පවතින බව ද අධිකරණය දැනුම් දි ඇති බව සඳහන් වෙයි.