අනගාරික ධර්මාපලතුමා නමින් ඉන්දියාව මුද්දරයක් එළිදක්වයි

අනගාරික ධර්මාපලතුමා නමින් ඉන්දියාව මුද්දරයක් එළිදක්වයි

October 25, 2014   04:18 pm

අන්තවාදීන්ගෙන් බුද්ධගයාව බේරාගෙන එය බෞද්ධයන් සතුකර ගැනීමේ උදාර මෙහෙයුමක් කළ මෙරට ප්‍රකට ආගමික ක්‍රියාකාරියෙකු ලෙස විරුදාවලිය ලත් අනගාරික ධර්මපාලතුමා නමින් ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා විසින් අද (25) මුද්දරයක් නිකුත් කර තිබේ.

ඉන්දීය ජනපතිගේ නිල නිවස වන රාෂ්ට්‍රපති බවන් හිදී නව මුද්දරය එළිදැක්වීම සිදුව ඇත.

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පවත්වනා ද්විපාර්ශ්වික සබඳතාවල ශක්තිමත් පියවරක් ලෙස මෙය හුවාදක්වමින් ඉන් දෙරටේ බැඳීම තව තවත් තරවනු ඇතැයි ඉන්දීය ජනපති කියයි.

දෙරටේ බැඳීම තුළින් ඉදිරියේ දෙරටේම ජනතාවට සෙත සැලසෙන බව ඔහුගේ අදහසයි.

බුදුදහම සාමකාමි ජීවන පෙවෙතකට ආදර්ශයක් ලබාදෙන දර්ශනයක් බැවින් අනගාරික ධර්මපාල තුමා විසින් බුදුදහම මත පදනම්ව කළ කී දෑ නිසා ආර්ථික, සාමාජයීය වශයෙන් දෙරටේ මිත්‍රත්වයට එය දැඩිලෙස බලපෑ බව ඉන්දීය ජනපති සිහිපත් කරයි.

ඉන්දීය ජනපතිවරයා අනගාරික ධර්මපාලතුමාගේ සේවය සිහිපත් කරමින් එරට තැපැල් දෙපාර්තමේන්තුවට ද මෙම කර්තව්‍යයට මැදිහත්වීම ගැන ප්‍රසාදය පළ කර තිබේ.

දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර සිරිදේවමිත්ත දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි වූ අනගාරික ධර්මපාල මහතාගේ උපත සිදුවූයේ 1864 සැප්තැම්බර් 17 වැනිදාය.

බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ ඒ මහතා ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාර්යයක් ඉටුකරන ලදී.

ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු කළ මෙහෙවර සුළු පටු ‍නොවේ.

බුද්ධ ධර්මය ආසියා, උතුරු අමෙරිකා හා යුරෝපා මහද්වීප තුනේම ව්‍යාප්ත කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහුය.

ධර්මපාලතුමා අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්වීම එහි සුවිශේෂිත්වයයි.

බුද්ධගයාව අන්තවාදීන්ගෙන් බේරා බෞද්ධ ජනතාව අතට පත්කළ අනගාරික ධර්මපාල තුමා ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි වී ශාසනයට ද එක්ව 1933 අප්‍රේල් 29 වැනිදා අපවත්විය.