පුත්තලමේ සීමාවාසික වෛද්‍යවරියට මරු කැඳවූ රියදුරු රිමාන්ඩ්

පුත්තලමේ සීමාවාසික වෛද්‍යවරියට මරු කැඳවූ රියදුරු රිමාන්ඩ්

October 25, 2014   07:26 am

පුත්තලම මූලික රෝහලේ සීමාවාසික වෛද්‍යවරියක මරණයට පත්කරමින් සිදුවු රිය අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය 18 වැනිදා අළුයම බත්තුළුඔය ප්‍රදේශයේ දි ගිලන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු අනතුරකින් ගිලන් රථයේ ගමන්ගත් වෛද්‍යවරිය සහ ගිලන් රථයේ ගමන්ගත් සහයකයෙකු ජීවිතක්ෂයට පත්විය.

ගිලන් රථයේ ගමන්ගත් හෙදියක , සාත්තු සේවිකාවක සහ එහි රියදුරු තුවාල ලැබු අතර ඔවුන් මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබුණි.

අදාළ අනතුර සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමේ චෝදනා මත පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කරන ලදී.

අනතුරට අදාළ නඩුව ඊයේ යළි කැදවූ අවස්ථාවේ දි ලොරි රථයේ රියදුරු යළි අධිකරණය ඉදිරිපත් කෙරුණි.

කරුණු සලකා බැලු හලාවත අතිරේක දිසා විනිසුරු කේ.සි ලියනගේ මහත්මිය ලොරි රථයේ රියදුරු වන මුදලිගේ සුජිත් ජිවා නැමැත්තා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.