බසය පෙරළී ඇඟළුම් සේවිකාවන් 12ක් රෝහලේ

බසය පෙරළී ඇඟළුම් සේවිකාවන් 12ක් රෝහලේ

October 25, 2014   06:57 am

මහියංගණය - පදියතලාව මාර්ගයේ 48 කණුව ආසන්නයේ දි ඇඟළුම් කම්හලක සේවකයින් ප්‍රවාහනය කළ බස් රථයක් කුඹුරකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් එහි ගමන්ගත් සේවිකාවන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

ඊයේ රාත්‍රීයේ 07.00ට පමණ අනතුර සිදුව ඇති අතර ඒ අවස්ථාවේදි බස් රථයේ පුද්ගලයින් 60 දෙනෙකු පමණ සිට ඇති බව සඳහන්ය.

තුවාල ලැබුවන් මේ වන විට මහියංගණය රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ අතර ඇල්ජින් තලවාකැලේ ප්‍රධාන මාර්ගයේ පැසිපන් වතුයාය ප්‍රදේශයේ දි බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවු අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ලිදුල රෝහලට ඇතුළත් කර තිබේ.

අධික වේගයෙන් ධාවනය වූ බස් රථය කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට ලක්ව ඇති අතර අනතුරෙන් බරපතළ තුවාල ලැබුවන් තිදෙනෙකු නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

මේ අතර කොළඹ හලාවත මාර්ගයේ දලුවාකොටුව ප්‍රදේශයේ දි මෝටර් රථයක් පදිකයෙකුගේ ගැටී සිදුවු අනතුරකින් 64 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

අදාළ පුද්ගලයා පදික මාරුවෙන් මාර්ගය හරහා ගමන් කිරිමේ දි අනතුරට ලක්ව ඇති අතර ඔහු මීගමුව රෝහලට ඇතුළත් කිරිමේ දි මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.