බොරලැස්ගමුවේ ව්‍යාජ රියදුරු බලපත්‍ර මුද්‍රණාලයක් වැටලුවා

බොරලැස්ගමුවේ ව්‍යාජ රියදුරු බලපත්‍ර මුද්‍රණාලයක් වැටලුවා

October 24, 2014   05:51 pm

ව්‍යාජ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් තිදෙනෙකු බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බොරලැස්ගමුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසල දී ව්‍යාජ රියදුරු බලපත්‍ර 5ක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඉන් එක් සැකකරුවෙකුගේ පිළියන්දල පිහිටි නිවසේ තිබී ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීමට උපයෝගී කරගත් පරිගණක, මුද්‍රණ යන්ත්‍ර ඇතුළු උපකරණ සොයාගෙන තිබේ.

අදාළ ස්ථානයෙන් ව්‍යාජ රියදුරු බලපත්‍ර විශාල ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ට නිකුත් කර ඇති බවට පොලිසිය සැක පළ කරයි.

සැකකරුවන් තිදෙනා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බොරලැස්ගමුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.