2015 අයවැය පාර්ලිමේන්තුවට එයි

2015 අයවැය පාර්ලිමේන්තුවට එයි

October 24, 2014   01:37 pm

2015 මුදල් වර්ෂය සඳහා වන අයවැය මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙලෙස ඉදිරිපත් කරන ලද එය සන්ධාන ආණ්ඩුවේ 10 ව අයවැය වන අතර එය ලංකා ඉතිහාසයේ 69 වන අයවැයයි.

2015 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 26 වන දා අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර මෙවර අයවැයෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරින සංවර්ධන අමාත්‍යංශයටය.

එම අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 285කි.

මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 200 ක මුදලක් වෙන් කර ඇති අතර රුපියල් බිලියන 139 ක මුදලක් වෙන් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයටය.

රුපියල් බිලියන 113 ක මුදලක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට වෙන්කර ඇති අතර රුපියල් බිලියන 47 ක මුදලක් අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කර තිබේ.

අයවැය දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වන දා සිට 31 වන දා දක්වා පැවැත්වෙනු ඇති අතර දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 01 වන දා සිදුකිරීමට නියමිතය.

කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 03 වන දා ආරම්භ වන අතර එය නොවැම්බර් 21 වන දා දක්වා පැවැත්වෙනු ඇත.

2015 අය වැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 24 වන දා පැවැත්වීමට නියමිතය.