ඒ වැඩ සිද්ධ වුණේ නීතිපති‍ උපදෙස් මත - මමත් කිව්වා මේක නීති විරෝධි ගනුදෙනුවක් කියලා

ඒ වැඩ සිද්ධ වුණේ නීතිපති‍ උපදෙස් මත - මමත් කිව්වා මේක නීති විරෝධි ගනුදෙනුවක් කියලා

October 24, 2014   12:20 pm

ගල් අඟුරු බෑම හා අනිකුත් සෑම දෙයක්ම සිදුකළේ නීතිපතිවරයා දුන් උපදෙස් අනූව බවත්, යම් අකටයුත්තක් වෙලා තියෙනවා නම් පරීක්ෂණ කළ යුතු බවත්, තමා ඇමතිව සිටියදී විදුලිබල මණ්ඩලයේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටි 150ක මූල්‍ය වංචාව ගැන චෝදනාවට පිළිතුරු ලෙස තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියයි.

මේ රටේ සිදුවන්නේ නැත්තේ දඬුවම් දීම පමණක් බවත් මෙවැනි ගනුදෙනුවක් මතක් වී ඇත්තේ අවුරුදු 2ට පසුව බවත් හෙතෙම පෙන්වාදෙයි.

තමාගේ නියෝගය වූයේ මෙම ගල්අඟුරු තොගය ප්‍රතික්ෂේප කිරීම බවත්, එය වරායෙන් ගොඩබෑම නොකළ යුතු බවත් යැයි අමාත්‍යවරයා කියා සිටියි.

එසේ කරනු ලැබුවේ මෙය නීති වීරෝධී ගනුදෙනුවක් බව තමන් ඒ මොහොතේ අවබෝධකර ගත් නිසා බැවින් යැයිද අමාත්‍යවරයා අවධාරණය කරයි.

අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා මේ බව පැවසුවේ විදුලිබල මණ්ඩලයට ගල්අඟුරු ගැනීමේදී රුපියල් කෝටි 150ට අධික වංචාවක් සිදුව ඇතිදැයි එජාප මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී විදුලිබල ඇමතිනි පවිත්‍රා ‍වන්නිආරච්චිගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඇය දුන් පිළිතුරට අදාළව මේ ගැන කරුණු දැක්වීමට අද (24) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේදී රුපියල් 150 කෝටි හැත්තෑ ලක්ෂ හතලිස් හතරදහස් එකසියයක පාඩුවක් සිදුව ඇති බවත්, එම පාඩුව අය කර ගැනීමට ගෙන ඇති පියවර කුමක්ද ලෙසත්, එහිදී හර්ෂ ද සිල්වා මහතා පවිත්‍රාවන්නි ආරච්චිගෙන් විමසීය.

එහිදී ඇය කියා සිටියේ 2012දී තමන් අමාත්‍යධූරයේ දැරූ කාලයේ නොවුණත් පත්තරවල පළවූ වාර්තා සැලකිල්ලට ගෙන මේ ගැන සොයාබැලීමට තමන් නීතිපතිවරයාගෙන් උපදෙස් පැතීමෙන් පසු එහි සම්පූර්ණ පරීක්ෂණ කටයුතු සී.අයි.ඩීයට බාරදුන් බවයි.

මෙම ගනුදෙනුවේදී කිසිවෙකු‍ හෝ වැරැද්දක් කර ඇති නම් ආරක්ෂා කිරීමට තමන්ටවත් රජයටවත් කිසිදු අවශ්‍යතාවයක් නැති බවත්, තමන් මෙම පරීක්ෂණ ගැන පිටුපස සිටිමින් සොයාබලන බවත්, ඇය ඊට පිළිතුරු ලෙස කියා සිටියේය.

ගල්අඟුරු ගැනීමේදී සිදුව ඇති රුපියල් කෝටි 150 වංචාව ගැන හර්ෂද සිල්වා මහතාගේ ප්‍රශ්නයට ඇමතිවරිය එහිදී දුන් පිළිතුර පහත පරිදිය.

‘‘2012 නොවැම්බර් මස ආනයනය කළ ගල් අඟුරු මෙ.ටො. 143,932 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් අරඹා ඇත. ලංකා ගල් අඟුරු සමාගම සහ ශ්‍රී ලංකා නැව් සංස්ථාව අතර 2012 ජූලි 23 එළැඹුණු ගිවිසුම අනුව හදිසි ගල් අඟුරු සැපයුම ප්‍රදානය කර ඇත්තේ සීමාසහිත තෝරියන් අයන් ඇන්ඩ් ස්ටීල් පෞද්ගලික සමාගමටය. ආනයනකරු තෝරා ගත්තේ සීමාසහිත නැව් සංස්ථාව විසිනි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2013 ජුලි 29 වන දින වාර්තා කළ පරිදි මෙම ගල් අඟුරු දහනය කර විදුලිය උත්පාදනය කිරීම නිසා 85,27,68,000 ක (අසූපන් කෝටි විසි හත් ලක්ෂ හැට අට දහසක) අලාභයක් සිදුව ඇත. ඊට අමතරව මෙ.ටො. 29,896 ක ප්‍රමාණයක් අඩුවෙන් සැපයීම නිසා සිදුවූ අලාභය 65,42,76,116/25 කි. (හැටපන් කෝටි හතලිස් දෙලක්ෂ හැත්තෑ හය දහස් එකසිය දහසයයි ශත විසිපහකි) ඒ අනුව මුළු අලාභය රුපියල් 150,70,44,116/25 කි. (එකසිය පණස් කෝටි හැත්තෑ ලක්ෂ හතලිස් හතර දහස් එකසිය දහසයයි ශත විසිපහකි) අපි නීතිපති උපදෙස් අනුව සීඅයිඩී එකට පරීක්ෂණ බාර දුන්නා.” යනුවෙන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රශ්නයට පිළිතුරු ලබාදී තිබුණි.

පාර්ලිමේන්තුවේදී ඊයේ (23) මෙම කතා බහ සිදුවිය.