කල්මුණේත් දිස්ත්‍රීක්කයක් කරන්න ශ්‍රී.ල.මු.කො යෝජනාවක් සම්මත කරගනී - ටී.එන්.ඒ විරුද්ධවෙයි

කල්මුණේත් දිස්ත්‍රීක්කයක් කරන්න ශ්‍රී.ල.මු.කො යෝජනාවක් සම්මත කරගනී - ටී.එන්.ඒ විරුද්ධවෙයි

October 24, 2014   09:46 am

අම්පාර දිස්ත්‍රීක්කයේ, කල්මුණේ වෙරළාසන්න බලප්‍රදේශය වෙනම පරිපාලන දිස්ත්‍රීක්කයක් ලෙසට ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවක් කල්මුණේ මහනගර සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

කල්මුණ මහනගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන් විසින් ඊයේ (23) ගෙන ආ එම යෝජනාවට පක්ෂව ශ්‍රී.ල.මු‍.කො මන්ත්‍රීන් 8 දෙනෙක් ඡන්දය ලබාදී ඇත.

ඊට විපක්ෂව ඡන්දය ලබාදී ඇත්තේ එම මහනගර සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් සිව්දෙනෙකි.

කල්මුණ මහ නගර සභාවේ ශ්‍රී.ල.මු‍.කො මන්ත්‍රීන් ගණන 11කි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් ගණන 04කි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීන් 3 දෙනෙකු ද, එක්සත් ජාතික පක්ෂයේ 1ක් මන්ත්‍රීවරයෙකු ද ඇතුළුව එහි සම්පූර්ණ මන්ත්‍රීන් ගණන 19කි.

ඡන්දය විමසන අවස්ථාවේදී මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීන් තිදෙනෙකු සභාවේ සිට නැති අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීන් තිදෙනාගෙන් එක් අයෙකු ඊට පක්ෂව අදහස් පළ කර, ඡන්දය නොදී ඇති අතරම, අනෙකා සභාවේ සිට නැත.

එජාපයේ මන්ත්‍රීවරයා ද යෝජනාවට පක්ෂව අදහස් දක්වා ඇතත් ඡන්දය දීමෙන් වැළකී තිබේ.

අම්පාර දිස්ත්‍රීක්කය සමන්තුරේ, කල්මුණේ, පොතුවිල් හා දිගාමඩුල්ල වශයෙන් මැතිවරණ බලප්‍රදේශ 4කින් සමන්විතය.

එහි වැඩි වශයෙන් වාසය කරන්නේ මුස්ලිම් ජනතාවය.

දෙමළ හා සිංහල ජනතාව ද එහි වැඩි වශයෙන් වාසය කරන අතර පරිපාලන කටයුතු කරගෙන යාමේදී අම්පාර දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයට පැමිණෙන මුස්ලිම් ජනතාවට භාෂාව සම්බන්ධයෙන් ගැටලු මතුවන බව කල්මුණේ මහනගර සභාවේ නගරාධිපති නිසාම් කාරියප්පර් මහතා පැවසීය.

මේ නිසා මෙම යෝජනාව ගෙන ආ බවත්, එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් පසු කල්මුණේ බලප්‍රදේශය ද පරිපාලන දිස්ත්‍රීක්කයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට හැකියාව ඇති බවත්, ඔහු සඳහන් කළේය.