ශත 5ක් දෙන්න එපා!

ශත 5ක් දෙන්න එපා!

October 23, 2014   10:29 pm

ආබාධිත රණවිරුවන් සඳහා මෙන්ම යුද හමුදාවේ පහසුකම් වැඩිදියුණු කිරීමට යයි කියමින් ගෙයින් ගෙට ගොස් මුදල් එකතු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර නැති බවත්, එවැනි ආකාරයට මුදල් එකතු කිරීම සඳහා කවරෙකු හෝ පැමිණ‍ියහොත් ශත 5ක්වත් නොදී ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ ගැන දැනුම්දෙන ලෙසත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එසේ මුදල් එකතු කිරීමේ වැඩපිළිවෙළක් මේවන විට ක්‍රියාත්මක නොවන බවත්, එවැන්නක් සිදුකරන්නේ නම් එය කරන්නේ විනිවිද භාවයකින් යුතුව බවත්, පෙන්වාදෙන ඒ මහතා ගෙවල් වලට ගොස් මුදල් එකතු කිරීමක් කිසිසේත් සිදුනොවන බව අවධාරණය කරයි.

යුද හමුදා නිල ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු තමන් නරාහේන්පිට යුද හමුදා‍ කඳවුරේ නිලධාරියෙකු යැයි කියමින් දෙහිවල ප්‍රදේශයේදී අද දහවල් මුදල් එකතු කිරීමේ කටයුත්තක නිරත වී ඇති අතර මේ ගැන අප වෙත ලැබුණු ‍ෙතාරතුරකට අනූව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් එවැන්නක් සිදුවන්නේදැයි කළ විමසීමේදී ඒ මහතා ඉහත අදහස් පළ කළේය.

‍කෙසේ හෝ ඒ ගැන සොයා බැලීමට තමන් කණ්ඩායමක් වහා පිටත් කරන හරින බවද රුවන් වනිගසූරිය මහතා පැවසීය.

මෑතකදී වත්තලත් ඔය වැනිම සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පැවසූ රුවන් වනිගසූරීය මහතා කවරෙකු හෝ එසේ මුදල් ඉල්ලා පැමිණියහොත් මුදල් නොදෙන ලෙසත් පමා නොවී වහා පොලීසියට ඒ ගැන දැනුම්දෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

දෙහිවල ප්‍රදේශයේ අද දහවල් එසේ මුදල් එකතු කළ පුද්ගලයා වෙළඳසැල් හා නිවෙස්වලට ගොස් රුපියල් 2500ත් 25,000ත් අතර මුදලක් යුද හමුදාවේ කටයුතු සඳහා ලබාදෙන ලෙසට ඉල්ලා ඇත.