සන්ධාන ආණ්ඩුවේ 10 වැනි අය වැය හෙට පාර්ලිමේන්තුවට!

සන්ධාන ආණ්ඩුවේ 10 වැනි අය වැය හෙට පාර්ලිමේන්තුවට!

October 23, 2014   05:31 pm

2015 මුදල් වර්ෂය සඳහා වන අයවැය හෙට දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ 69 වන අයවැයයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දසවන අයවැය මෙය බව ද සඳහන්ය.

සාමාන්‍යයෙන් සෑම වසරකදීම අයවැය නොවැම්බර් මාසයේ ඉදිරිපත් කෙරුණ ද මෙවර අයවැය ඊට පෙර ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන ඇත.

කෙසේවෙතත් මෙවර අයවැය ඔක්තෝම්බර් මාසයේ ඉදිරිපත් කිරීමට රජය ගත් පියවර සම්බන්ධයෙන් විවිධ මත පළවුණි.

මැතිවරණයක් ඉලක්ක කරගනිමින් මෙම අයවැය ඉදිරිපත් කරන බවට ඇතැමුන් අදහස් පළකරන ලදී.

එහෙත් මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පවසන්නේ මෙවර අයවැය හුදෙක් දේශපාලන අරමුණු වලින් තොර රටේ සංවර්ධනය ඉලක්ක කරගනිමින් ඉදිරිපත් වු අයවැයක් බවයි.

2015 මුදල් වර්ෂය සඳහා වු විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් මස 26 වන දා අග්‍රාමාත්‍ය දී.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙවර අයවැයෙන් වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරින සංවර්ධන අමාත්‍යංශයටය.

එම අමාත්‍යංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 285කි.

මහාමාර්ග වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 200 ක මුදලක් වෙන් කර ඇත.

රුපියල් බිලියන 139 ක මුදලක් වෙන් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයටය.

රුපියල් බිලියන 113 ක මුදලක් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට වෙන්කර ඇති අතර රුපියල් බිලියන 47 ක මුදලක් අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කර ඇති බව සඳහන්ය.

මේ අතර මෙවර අයවැයෙන් වැටුප් ඉහළ යනු ඇති බවට රාජ්‍ය සේවකයින් විශ්වාසය පළ කරයි.

තම කර්මාන්ත සඳහා මෙවර අයවැයෙන් සහන ලැබෙනු ඇති බවට ධීවරයින් සහ ගොවී ජනතාව ද එසේම සාමාන්‍ය ජනයා ද බලාපොරොත්තුවෙන් පසුවේ.

මේ අතර මෙවර අයවැය රටේ ආර්ථික ස්ථායිතාවය ස්ථාවරව පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් ඉදිරිපත් කරනු ඇතැයි ප්‍රකට ආර්ථික විශ්ලේෂකයෙකු වන හසිත ප්‍රේමරත්න මහතා පැවසීය.

අයවැය දෙවන වර කියවීමේ විවාදය ලබන 25 වන දා සිට 31 වන දා දක්වා පැවැත්වෙනු ඇත.

දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 01 වන දා සිදුකිරීමට නියමිතය.

කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් මස 03 වන දා ආරම්භ වන අතර එය නොවැම්බර් 21 වන දා දක්වා පැවැත්වෙනු ඇත.

2015 අය වැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 24 වන දා පැවැත්වීමට නියමිතය.