පිල්ලෙගේ කාර්යාලයේ ගනුදෙනු ගැන හුසෙන් විමතියෙන්

පිල්ලෙගේ කාර්යාලයේ ගනුදෙනු ගැන හුසෙන් විමතියෙන්

October 23, 2014   11:35 am

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 03 ක් සම්බන්ධයෙන් විශේෂ කමිටු 03 ක් හරහා විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසෙන් පවසයි.

ශ්‍රී ලංකාව, සිරියාව සහ මධ්‍යම අප්‍රිකානු ජනරජය යන රටවල් සම්බන්ධයෙන් මෙලෙස විමර්ශන කටයුතු සිදුකරන බව ඔහු කියයි.

මීට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ධූරයේ කටයුතු කළ නවනීදන් පිල්ලේගේ කාල සීමාව තුළ සිදුකළ කාර්යයන් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් සෙයිඩ් රාඩ් අල් හුසෙන් මෙය ප්‍රකාශ කර ඇත.

අදාළ වාර්තාවේ පසුගිය වසරේ අගොස්තු මාසයේ සිට පසුගිය ජූලි මාසය දක්වා වු කාල සීමාව තුළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සිදුකළ කාර්යයන් ඇතුළත්ව ඇති බව සඳහන්ය.

තමා අදාළ ධූරයේ වැඩ කටයුතු බාර ගැනීමෙන් පසු පවතින මුදල් ප්‍රමාණයත් සමඟ කාර්යාලයේ වැඩ කටයුතු සිදුව ඇති අන්දම පිළිබඳ විමතියට පත්වු බව අදාළ වාර්තාව ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.

ඔහු පෙන්වාදෙන්නේ සමස්ත සංවිධානය සතුව පවතින මුදලින් ඉතා සුළු ප්‍රමාණයක් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ කටයුතු සඳහා හිමිවන බවයි.

මෙම තත්ත්වය අනුමත කළ නොහැකි බව ද සෙයිඩ් රාඩ් අල් හුසෙන් ප්‍රකාශ කර ඇත.