සක්විති අත්අඩංගුවට ගත්තා නම් නෙවිල් ප්‍රනාන්දු අත්අඩංගුවට  නොගන්නේ ඇයි?

සක්විති අත්අඩංගුවට ගත්තා නම් නෙවිල් ප්‍රනාන්දු අත්අඩංගුවට නොගන්නේ ඇයි?

October 22, 2014   10:02 pm

අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනුවෙන් පෙනී සිටින්නන්ට අවම වශයෙන් මාලබේ පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සිටින ශිෂ්‍ය සංඛ්‍යාවවත් නිවරදිව කියන ලෙස තමන් අභියෝග කරන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

දිගු කාලීන ජයග්‍රහණ දිනා ගත හැක්කේ සියලු බලවේග සමග එක්ව සටන් කිරීමෙන් බවද ඔහු කියයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද ( 22) එම පක්ෂය විසින් රාජගිරියේ පැවැත් වූ මාධ්‍ය හමුවකදීය.



ආණ්ඩුව තමන්ව ප්‍රශ්න කරන තමන්ට අභියෝග කරන බලවේග වලට මර්දනය කැඳවනවා. හොඳම උදාහරණය තමයි පසුගිය 20වන දා ධීවරයෝත්, 21 වනදා ශිෂ්‍යනුත් මුහුණ දුන් අත් දැකීම. 20 වනදා ධීවරයන් ධීවර අමාත්‍යංශය ඉදිරිපිට කළ උද්ඝෝෂණයට මැරයෝ ගල් වලින් පහර දුන්නා. ධිවරයන්ගේ ඔළු පැළුණා.තුවාල උණා. මේ උද්ඝෝෂණය කළේ බහුදින ධීවර යාත්‍රාවල ධීවර කාර්මිකයෝයි.

ඔවුන්ගේ සටන් පාඨය කුමක්ද? ඔවුන් ඉල්ලුවේ සාධාරණ ඉල්ලීමක්, ආණ්ඩුව විදේශීය බහුජාතික සමාගම් වල යාත්‍රා වලට ලංකාවේ මුහුදේ මසුන් අල්ලන්න අවසර දීලා. ඒ විතරක් නෙමෙයි සමාගම් වලින් අල්ලන මසුන් ලංකාවට ගෙනවිත් ලංකාවේ නමින් අපනයනය කරන්නත් අවසර දීලා. මේක නතර කරන්න කියලා ධීවරයෝ කාලයක් තිස්සේ අරගල කළා.

ආණ්ඩුව ඇහුවේ නෑ. අන්තිමට උනේ මොකක්ද? යුරෝපා සංගමය ලබන වසරේ ජනවාරී 15 සිට ලංකාවෙන් මාළු මිලදී ගැනීම නතර කරන්න තීරණය කරලා. ධීවර ඇමති රාජිත සේනාරත්න කියන්නේ අපේ ධීවරයෝ ලංකාවේ සීමාවෙන් පිට මාළු අල්ලන නිසා මේ තහනම ආවා කියලා. ඒක බොරුවක්. යුරෝපා සංගමය නිල වශයෙන් කියන්නේ ලංකාවේ මසුන් අල්ලද්දී පිළිගත් පරිසර නීති උල්ලංඝණය වන නිසා මේ තහනම පැනෙව්වා කියලයි. අහිතකර පන්න ක්‍රම තහනම් කිරීම ආණ්ඩුවේ වගකීමක්. පරිසරය විනාශ කරන ක්‍රම භාවිතා කරන්නේ සාමාන්‍ය ධීවරයෝ නෙමෙයි. ඒවා භාවිතා කරන්නේ ඊට අදාළ තාක්ෂණය සහිත විශාල බහුජාතික සමාගම් යුරෝපා සංගමයේ ප්‍රශ්නය ආවේ විදේශීය සමාගම් වලට මුහුද දුන් නිසා.

මේක ලංකාවද පිට රටද කියලා ප්‍රශ්නයක් නෙමෙයි. සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තියෙන මත්ස්‍ය සම්පත බහු ජාතික සමාගම් වලට දෙනවා. අපි විරුද්ධ ඒකටයි. අනෙක් අතට ඒ සමාගම් වලින් ගෙනෙන මාළු ලංකාවට ගෙනත් ලංකාවේ නමින් අපනයනය කරනවා. ධීවරයෝ කියන්නේ මේ තහනමට හේතුව ලංකාවේ මාළුන්ගේ ගුණාත්මක බව අඩු වීම කියලයි. ලංකාවේ ධීවරයෝ අපනයනය සඳහා තෝරා ගන්නේ ගුණාත්මක බවින් ඉහල මාළු. ප්‍රමිතියෙන් අඩු ඒවා දේශීය වෙළද පොළේ අඩු මුදලට විකුණනවා.

නමුත් විදේශීය සමාගම් වලට දේශීය වෙළදපළ ජාලයක් නැති නිසා ඔවුන් ප්‍රමිතියකින් තොරව සියල්ල අපනයනය කරනවා. දැන් මේ ප්‍රශ්නය නිසා ධීවරයෝ ලක්ෂ ගණනකගේ ජීවනෝපාය තර්ජනයට ලක් වෙලා. නමුත් මේක එක ප්‍රශ්නයක් විතරයි. ප්‍රධාන ප්‍රශ්නය තමයි සංචාරක කර්මාන්තය ප්‍රමුඛ කරලා ධීවර කර්මාන්තය විනාශ කරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය.

මේ ක්‍රියාත්මක වන්නේ ජාතික භෞතික සැලැස්මේ තියෙන දේවල්. බහුදින එක්දින බේදයකින් තොරව සියළු ධීවරයෝත්, සියළු බලවේගත් එක්ව ජාතික භෞතික සැලැස්මට එරෙහිව එක්විය යුතුයි.21 වෙනිදා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිවල පාසල් වල මුදල් අය කිරීමට එරෙහිව, මහපොළ ශිෂ්‍යාධාර වැඩි නොකිරීමට එරෙහිව ඒ වගේම කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් ශිෂ්‍යයෝ පාගමනක් ගියා.

ඒ පා ගමනට පොලීසිය පහර දීලා ශිෂ්‍යයෝ 20 කට තුවාලයි. දෙදෙනෙකුගේ පාද කැඩිලත් තියෙනවා. අත පය කැඩෙන්නමයි ගහලා තියෙන්නේ. ඒ අතර මාලබේ උපාධි කඩේ දෙමාපියෝ නමින් මේ ශිෂ්‍යයන්ට එරෙහිව පියවර ගන්න කියලා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් ලියලා. පරීක්ෂණ පවත්වන්න ඕන මේ හොර උපාධි කඩේ ගැනයි. අධ්‍යාපන පෞද්ගලිකකරණය වෙනුවෙන් පෙනී ඉන්න මේ අයට මාලබේ ඉන්න ශිෂ්‍යයෝ ගාණවත් කියන්න බෑ. පසුගිය සතියේ ඔවුන් මාධ්‍යට කිව්වා ඉන්නේ ශිෂ්‍යයෝ 890 ක් කියලා. 2012 නිකුත් වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වාර්තාවට අනුව 2012 වන විට සිසුන් 755ක් ඉදලා තියෙනවා.

ඒ කියන්නේ මේ අවුරුදු දෙකේම ඇතුළු උනේ සීයක් විතරද? අවුරුද්දකට දෙවරක් ඒකේ සිසුන් බඳවා ගන්නවා. සිසුන් ගණන සඟවන්නේ ඇයි? හේතුව උසස් පෙළ සුදුසුකම් නොලත් විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසයි සුදුසු කම් නැති අයගේ නම් හන්ගන්නේ. මේක අධ්‍යාපනය පෞද්ගලික කරණය පිලිබදව ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේක ජනතාවගේ ජීවිත පිළිබඳ ප්‍රස්නයක්ග සුදුසුකම් නොලත් වෛද්‍යවරු නිසා ජීවිත අවදානමක් ඇති වෙනවා. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සක්විති පන්නයේ වැඩක්. ඒකට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ගත්තේ කළමනාකරණ පාඨමාලා පවත්වනවා කියලා.

ඊට පස්සේ හෙද පාඨමාලාවක් පවත්වන්න කියලා ආයතනයේ නම කූට ලෙස වෙනස් කළා. එනම් වෛද්‍ය උපාධි දෙන්න අනුමැතියක්වත් අරන් නෑ. අපි අනුමැතිය දෙනවාටත් විරුද්ධයි. මේක ඊටත් වඩා හොර වැඩක්. සිසුන් බඳවා ගන්න පල කළ පුවත්පත් දැන්වීමේ තිබූ කරුණු තුනම වැරදියි. බොරු තොරතුරු සහිත දැන්වීම් දාලා ළමයින්ගෙන් ලක්ෂ 65 ගාණේ එකතු කළා.

මේක වංචාවක් සක්විති අත් අඩංගුවට ගත්තා නම් නෙවිල් ප්‍රනාන්දු අත්අඩංගුවට නොගන්නේ ඇයි? ඒ පෞද්ගලීකරණය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා. මේවා බොරුයි කියන ඕනෑම කෙනෙකුට අභියෝග කරනවා. මේ ගැන කතා කරන්න එන්න කියලා. පුළුවන් නම් උපාධි කඩේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව හරියට කියන්න. අපි ළඟ නාම ලේඛන තිබෙනවා. ඒවාට විරුද්ධ උනහම තමයි ශිෂ්‍යයන්ට පහර දුන්නේ. අධ්‍යාපනය පෞද්ගලීකරනයත් ජාතික භෞතික සැලැස්මේ කොටසක්. ඒ නිසා අපි ශිෂ්‍යන්ගෙන් ඉල්ලනවා ඊට එරෙහි පොදු සටනකට එකතු වෙන්න කියලා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන මේ බලවේග මේ සටනට එකතු විය යුතුයි. අපි පක්ෂයක් ලෙස මේ සියළු බලවේග එකතු කරන්නත් සාකච්ජා කරන්නත් සූදානම්.

මෙම මාධ්‍ය හමුවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට මහතාද සහභාගි විය.