ජනපතිවරණය තියන්නේ මැ.කො නෙවෙයි නක්ෂත්‍රකාරයින්

ජනපතිවරණය තියන්නේ මැ.කො නෙවෙයි නක්ෂත්‍රකාරයින්

October 22, 2014   04:44 pm

වරාය ආරක්ෂක පුහුණු පාසලේදී ඊයේ (21) තමා ඇතුළු මන්ත්‍රීන්ට මැර ප්‍රහාරයක් එල්ල කළ පිරිස “ දැන් අපි ගැහුවා කියලා” රෝහල්ගත වී සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

එම සිදුවීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් එහි සත්‍යතාවය දුටු බවද ජනමාධ්‍ය ඔස්සේ එය ජනතාවට වාර්තා කිරීම ගැන ස්තූතිය පළ කරන බවද ඔහු සඳහන් කරයි.

වරාය අධිකාරිය සතු ඉඩමක මැතිවරණ ප්‍රචාරක පුවරු, කටවුට්, පෝස්ටර් ගබඩා කර තිබියදී එම ඉඩම වෘත්තීය සමිතියක් විසින් බදු පදනම මත ගත් බවත්, මේ නිසා එය වරාය අධිකාරියට අයිති ඉඩමක් නොවේයැයි පැවසීම ප්‍රතික්ෂේප කරන බවත්, මන්ත්‍රීවරයා කියයි.

එසේ නම් එම ඉඩමට බදු ගෙව්වේ කවුදැයි හෙළිකරන ලෙසද ඒ මහතා අවධාරණය කරයි.

වරායට වෙන්කරන මුදල් වලින් ඡන්ද වැඩ කරන බවද පැවසු ඒ මහතා තමා ඇතුළු පිරිසට ඊයේ සිදුවු ප්‍රහාරය ගැන යෝගරාජන් මන්ත්‍රීවරයා පොලීසියට පැමිණිලි කළ බවද එසේම එම සිද්ධිය පාර්ලි‍ෙම්න්තුවටත් දැනුම්දුන් බව කියා සිටියි.

මීට පෙරත් අල්ලස් හා දූෂණ ගැන මේ ආකාරයටම සොයාබලා අල්ලස් කොමිසමට පැමිණිලි කළ නමුත් ඒවායේ කටයුතු ද අක්‍රිය වී ඇති බවත්, ඒවායේ තීන්දු පවතින්නේ ආණ්ඩුවේ ඉහළ බලධාරීන් අතේ බවත් ඔහු පෙන්වාදෙයි.

කොළඹදී අද මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්ව දින 100න් මෙරට ඍණ ආර්ථිකය ධන කළ බවත්, මෙරට ආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත්, එහිදී මන්ත්‍රීවරයා පැවසීය.

යුරෝපා අධිකරණය කොටි තහනම ඉවත් කිරීමට එරෙහිව ආණ්ඩුවට නීතිමය ක්‍රියාමාර්ගයකට යාමට තිබූ බවත්, එසේ නොකිරීම නිසා යුරෝපයේ එල්.ටී.ටී.ඊය සතු වත්කම් ආණ්ඩු‍වේ අනුග්‍රහ‍යෙන් සැප විඳින කේ.පීට ලබාගත හැකි බවත්, හෙතෙම කියා සිටියේය.

තම පක්ෂය ඉල්ලා සිටින්නේ රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් බවත්, ආණ්ඩුව රුපියල් 5000කින් හරි පඩි වැ‍ඩි කළොත් එය ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ලබන ජයග්‍රහණයක් බවත්, ඒ මහතා සඳහන් කළේය.

2015 ජනවාරී 09 වැනිදා ජනාධිපතිවරණය තියෙනවා කියා නක්ෂත්‍රයින් කියන බවත්, එහෙත් එය තීරණය කළ යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයා බවත්, රවී කරුණානායක මහතා පැවසීය.

2005දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වී බලයට පැමිණි ජනාධිපතිවරයා තවමත් එය වෙනස් නොකර ධූරයේ රැඳී සිටිමින් නියමිත කාලයට පෙර මැතිවරණයකට යන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.