මුන්නේශ්වරමේ ඊශ්වර දේවාලයේ පූජකවරයෙක් අත්අඩංගුවේ

මුන්නේශ්වරමේ ඊශ්වර දේවාලයේ පූජකවරයෙක් අත්අඩංගුවේ

October 22, 2014   03:50 pm

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ස්ථානයක ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේ චෝදනාව මත හලාවත - මුන්නේෂ්වරමේ පිහිටි ඊශ්වර දේවාලයේ පුජකයෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (22) දහවල් මෙම පූජකයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්නේෂ්වරම ඊශ්වර දේවාලයේ සහායක පුජක ලෙස කටයුතු කරන සර්වේෂර් අයියර් පද්මනාභ නම් පුජකයෙකි.

වසර 2300 ක් පමණ පැරණි ඉතිහාසයක් හලාවත - මුන්නේෂ්වරමේ පිහිටි ඊශ්වර දේවාලයට ඇති අතර මීට වසර 630 කට පමණ පෙර පරාක්‍රමබාහු රජ සමයේදී මෙම දේවාලයේ ඇති වර්තමාන ඉදිකිරීම් සිදුකර ඇති බව කියැවෙයි.

2009 සැප්තැම්බර් මස 23 වැනි දින රජය විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයකින් මුන්නේෂ්වරමේ පිහිටි ඊශ්වර දේවාලය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව දේවල භූමිය තුළ කිසියම් ඉදිකිරීමක් කරන්නේ නම් ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතුව තිබේ.

නමුත් මෑතකදී මුන්නේෂ්වරම ඊශ්වර දේවාලය තුළ පිහිටි දේව මන්දිරයක් කඩා පිළිසරක කිරීමට දේවාලයේ පුජකවරුන් කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදාළ ඉදිකිරීම් තහනම් කර ඇත.

නමුත් එම තහනම නොතකා ඉදිකිරීම් දිගින් දිගටම සිදු කර ඇති බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇති බව අද දෙරණ වාර්තාකරු කියයි.

එබැවින් ඊශ්වර දේවාලයේ ප්‍රධාන පුජකවරයා අත්අඩංගුවට ගැනීමට නියමිත බව හලාවත පොලීසිය කියයි.

ඒ අනුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතාගේ දැනුම් දීම මත මෙම සහායක පූජකවරයා අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

හලාවත පොලීසියේ පොලිස් පරීක්ෂක රෆායිඩීන් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.