සිසු විරෝධයෙන් වාහන ධාවනයට බාධා - සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

සිසු විරෝධයෙන් වාහන ධාවනයට බාධා - සිසුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර

October 21, 2014   04:30 pm

සරසවි සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් රාජගිරියේ සිට පොල්දූව දක්වා ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

අධ්‍යාපනය පෞද්ගලීකරණය නොකිරීම, මහපොල ශිෂ්‍යත්ව මුදල වැඩි කිරීම, විශ්ව විද්‍යාලවල පවතින නේවාසිකාගාර ගැටලු සඳහා විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වේ.

උද්ඝෝෂණය සඳහා සියලුම විශ්ව විද්‍යාල නියෝජනය කරමින් සිසුන් 5000කට අධික පිරිසක් එක්ව සිටින බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන් අද පස්වරුවේ නෙළුම් පොකුණ වටරවුම අසලින් උද්ඝෝෂණය ආරම්භ විය.

සිසුන්ගේ විරෝධතාවයට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් මේවන විට එල්ල කර තිබේ.

සිසුන්ගේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව පොලීසිය කියයි.

සිසුන්ගේ විරෝධතාවය නිසා මාර්ග කිහිපයකම රථවාහන ධාවනයට බාධා එල්ල වී ඇත.