වාස්ගේ එක් නඩුවක තීන්දුව 29දා

වාස්ගේ එක් නඩුවක තීන්දුව 29දා

October 21, 2014   02:25 pm

බම්බලපිටිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන නඩුවෙන් නිදහස් කරන්නැයි ඉල්ලා වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකු ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්වල තීන්දුව මේ මස 29 වනදින ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අදාළ පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේ මෙම දැනුම්දීම සිදුකළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ කියා සිටියේ තමන් අත්අඩංගුවට ගැනීම, රඳවා තබාගැනීම සහ පරීක්ෂණ සිදුකිරීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ බවයි.

කෙසේ වෙතත් තමන්ට නඩු පැවරීම සාමාන්‍ය නීතිය යටතේ සිදුකිරීම නීතියට පටහැනි බව සඳහන් කළ විත්තිකරුවන් මෙවැනි නඩු පැවරීමක් සිදුකිරීමට නීතිපතිවරයාට බලයක් නැති බව පවසා තිබේ.

ඒ අනුව මෙම චෝදනා පදනම් විරහිත බැවින් එම සියලු චෝදනා වලින් නිදහස් කරන ලෙස විත්තිකරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් එම කරුණු ප්‍රතික්ෂේප කළ රජයේ නීතීඥවරිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සාමාන්‍ය නීතියට අනුකූලව සිදුකර ඇති බවයි.

ඒ අනුව ඔවුන් නගන චෝදනා පදනම් විරහිත බව රජයේ නීතීඥවරිය අධිකරණය හමුවේ සඳහන් ක‍ළාය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරුමඩුල්ල ලබන 29 වැනිදා මේ පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරන බව දැනුම්දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.



පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ මෙම ප්‍රවෘත්තියට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.