දීපවාලි සමරන්න ගෙනා බෝතල් පොළොව යටින් මතුවෙයි - සැකකරු වසබොයි

දීපවාලි සමරන්න ගෙනා බෝතල් පොළොව යටින් මතුවෙයි - සැකකරු වසබොයි

October 21, 2014   10:31 am

ආගරපතන, ටොරින්ටන් වතුයායේ නිවසක පොළව යට සකස්කර තිබූ බංකරයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්පැන් බෝතල් 50ක් ආගරපතන පොලීසිය විසින් සිය බාරයට ගෙන තිබේ.

දීපවාලි උත්සව සමයේ අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් බෝතල් තොගය ගෙනවිත් ගබඩාකර තිබෙන අතර එය අත්අඩංගුවට ගැනීමට පොලීසිය සැකකරුගේ නිවසට යෑමේදී එම මත්පැන් තොගය සඟවා තිබූ කාමරයේ යතුර නොමැති බවත්, එම කාමරයේ කිසිසේත් විවෘත කිරිමට නොහැකි බවත් සැකකරු විසින් පොලීසියට පවසා ඇත.

අනතුරුව එම ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රාජකාරියේ යොදවා ආගරපතන පොලිස් ස්ථානයේ ආනන්දසිරි මහතා අධිකරණ නියෝගයක් ලබා ගැනීම සඳහා නුවරඑළිය අධිකරණයට ගිය අවස්ථාවේ සැකකරු නිවස තුළම වස පානය කර තිබේ.

පසුව සැකකරුව ආගරපතන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර කිරීම සඳහා නුවරඑළිය මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.

පසුව නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් දුන් නියෝගයක් මත සැකකරුගේ නිවසේ වසා තිබූ කාමරය පරික්ෂා කිරීමේදී මෙම මත්පැන් බෝතල් තොගය පොලිස් බාරයට ගෙන තිබේ.

රෝහල් ගත කළ සැකකරුගේ තත්ත්වය බරපතළ නොවන බවත්, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුර අබේවික‍්‍රම මහතා සහ පොලිස් අධිකාරී වසන්ත මහතාගේ උපදේස් හා නියෝග මත මෙම සැකකරුට එරෙහිව නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවත්, ආගරපතන පොලීසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ එම වතුයායේ පදිංචි කන්දයියා සත්‍යවේල් නැමති අයෙකි.