වකුගඩු රෝගීන්ට ජපානයෙන් ලැබුණු රුපියල් මිලියන 770කින් 470ක් ගසාකාලා

වකුගඩු රෝගීන්ට ජපානයෙන් ලැබුණු රුපියල් මිලියන 770කින් 470ක් ගසාකාලා

October 1, 2014   04:43 pm

වකුගඩු රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීමට අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට ජපන් රජයෙන් ලැබුණු රුපියල් මිලියන 770කින් රුපියල් මිලියන 470ක මුදලක් වංචා කර ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි.

වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් අද (01) එම වංචාව ගැන සොයාබලන්නැයි ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ඔහු එහිදී මෙසේ ද කියා සිටියේය.

ජපන් රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 770ක් ලැබුණා මේ රටේ වකුගඩු රෝගයෙන් පීඩාවිඳින පොළොන්නරුව, අනුරාධපුර ජනතාවගේ ලේ පිරිසිදු කිරීමට ගන්නා ඩයලෙසින් මැෂින් මිලදී ගැනීම සඳහා නමුත් ඒ මුදල් භවිතා කරලා භාවිතයට නුසුදුසු තත්ත්වයෙන් බාල ඩයලෙෂින් මැෂින් 53ක් හා සීටී ස්කෑන් යන්ත්‍ර 06ක් රුපියල් මිලියන 300කට මිලදී ගෙන තියෙනවා. මෙම උපකරණ මිලදී ගැනීම පිටුපසු රුපියල් මිලියන 470දැවැන්ත මුල්‍ය වංචාවක් සිදුවෙලා තියනවා. ඒ හොරකම පිළිබඳ පැමිණිලි කරන්න තමයි අද අල්ලස් කොමිසමට ආවේ.

මේ දැවැන්ත හොරකම පිටිපස්සේ ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් කෙනෙක්. ඔහු යටතේ තමයි ගනුදෙනු සිදුවෙලා තියෙන්නේ. ඔහු මෙම යන්ත්‍ර මිලදී ගත් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක්. ඒ සමාගමේ නම ප්‍රයිම් හෙල්ත් කෙයාර්. ඒකේ ලිපිනය 20/24,ෆෙයාෆිල් ගාර්ඩන්, කොළඹ 08. මෙම ගොඩනැගිල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට අයත් එකක්. සෞඛ්‍ය ඇමතිලා නිලධාරීන් එකතුවෙලා තමයි මෙම කොල්ලකෑම සිදුකරලා තියෙන්නේ.

මීට අමතරව මධ්‍යම පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක සිදුකළ රුපියල් මිලියන 500කට අධික අයථා ගනුදෙනු සාක්ෂි සහිතව අද ඉදිරිපත් කරනවා. ඔහු ඇතුළු ඇමති කාර්ය මණ්ඩලය,ඇමතිවරයාගේ ඥාතීන්, නිලධාරීන් සියලු දෙනාගේ නම් ගම සහිතවයි මේ පැමිණිල්ලත් බාර දෙන්නේ. මේ පිළිබඳ වහාම විමර්ශනය කරලා පරීක්ෂණ පවත්වලා මේ වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි අද අපි කරන්නේ.

ඉන්දියාවේ ජයලලිතා අද හිරගෙදර ඉන්නේ ජනතා මුදල් කොල්ල කාපු නිසා. අල්ලපු රටේ වෙච්ච ඒ සිදුවීමේ උෂ්ණයටවත් මේ පිළිබඳ විමර්ශනය කරන්න කියලා අපි කියන්නේ. මීට පෙරත් ඇති වෙනකම් අපි වංචා දූෂණ පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරලා තියනවා. ඒත් මේ වෙනතුරු ඒ පිළිබඳ කිසිඳු විමසීමක් කරලා නැහැ. අල්ලස් හෝ දූෂණ කොමිසමට අපි තව පැමිණිලි ගේනවා. මේ ආයතන මහජන මුදලින් නඩත්තු වෙන ආයතන. ඒ පැමිණිලි පිළිබඳ පරීක්ෂණ කරන්නේ නැතිනම්, මේ ආයතනය ඉදිරියට ජනතාව ගෙනල්ලා දැවැන්ත උද්ඝෝෂණයක් කරනවා. ඊටත් යහපත් ප්‍රතිචාරයක් නැත්නම් ඉතා ඉක්මනින්ම මහජනතාව ගෙන්නලා මේ ආයතනය වටලලා සාධාරණය ඉටුකර ගැනීමටත්, ජනතා මුදල් ආරක්ෂා කරගැනීමටත් මූලිකත්වය ගෙන කටයුතු කරන්න දූෂණ විරෝධී හඬ සංවිධානය විදියට අපි කටයුතු කරනවා.''