ක්‍රිස් නෝනිස් ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදුන්නේ නෑ

ක්‍රිස් නෝනිස් ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදුන්නේ නෑ

September 30, 2014   05:11 pm

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොදුන් බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද(30) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර සිටියේය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීමට සහභාගී වීම පිණිස අමෙරිකාව බලා පිටත්වගොස් සිටි රජයේ මන්ත්‍රීවරයෙකු විසින් ක්‍රිස් නෝනිස් මහතාට පහරදීමක් සිදුකළ බව ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තාකර තිබුණි.

මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇති බවට නිල නොලත් මාධ්‍ය සඳහන් කර සිටියේය.

කෙසේ වෙතත් අද මාධ්‍ය හමු‍වෙදී මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා වන ක්‍රිස් නෝනිස් මහතා කිසිදු ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදී නොමැති බවයි.