හරීන් පොරොන්දුවට පිටුපෑවා - ගම්මන්පිල අස්නොවීමට හේතු දක්වයි

හරීන් පොරොන්දුවට පිටුපෑවා - ගම්මන්පිල අස්නොවීමට හේතු දක්වයි

September 30, 2014   11:44 am

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා තමන් කළ අභියෝගය නිසි ලෙස පොරොන්දුවූ පරිදි ඉටු නොකළ බව බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත සහ පරිසර අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

පෝස්ටර් කටවුට් ආදිය ප්‍රදර්ශනය නොකරමින් මැතිවරණයේදී මනාප 50,000 ක් රැගෙන පෙන්වන ලෙස අභියෝග කළද හරීන් ප්‍රනාන්දු මහතා බොහෝ තැන්වල කටවුට් හා පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබුණු බව ගම්මන්පිල මහතා ඡායාරූප සහිතව පෙන්වා දුන්නේය.

බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම කරුණු අනාවරණය ක‍ළේය.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

පහුගිය සැප්තැම්බර් විසි වෙනිදා ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වුණු දවසේ, ඒ දවසේම මම විදේශ ගත වුණා.තිරසර සංවර්ධනය පිළිබඳ ප්‍රාදේශීය ආණ්ඩු ජාලයේ සභාපතිවරයා විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමා මට ආරාධනාවක් කරලා ලෝක දේශගුණික සමුළුවට සහභාගී වෙන්න කියලා. ඒ අනුව මම විදේශගත වුණා මම ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර සිටියදී වෙබ් අඩවිවල ප්‍රවෘත්ති පළවෙලා මට මගේ මිතුරන් විද්‍යුත් තැපෑල මගින් එවා තිබුණා.

“ගම්මන්පිල ඉල්ලා අස්වේ”, “ගම්මන්පිල ඉල්ලා අස්වෙන්නේ නැත්තේ ඇයි?”, “ගම්මන්පිල ඉල්ලා අස්වෙයිද?” හේතුව තමයි හරීන් ප්‍රනාන්දු අපේ හිතවත් මන්ත්‍රීතුමාට පුළුවන්නම් මනාප පන‍ස් දහසක් ගන්න කියලා අභියෝග කරලා දැන් ඉතින් එතුමා 50,000ට එක් ලක්ෂ හැත්තෑ තුන්දහසක්ම අරන් තියෙන නිසා ඉල්ලා අස්වුණාය, ඉල්ලා අස්වෙන්න යනවාය යනාදී වශයෙන් වෙබ් අඩවිවල ප්‍රවෘත්ති පළවෙලා තිබුණා. විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවල මේ කතාවේ ඇත්ත නැත්ත ගැන මගෙන් විමසීම් කරන්න ගත්තා.

මම අභියෝගයක් කරලා කවුරුහරි ඒ අභියෝගය ජයගත්තා නම් කවුරුවත් මට සිහිපත් කරන්න අවශ්‍යය වෙන්නේ නැහැ. එහෙමනම් මම ඇමරිකාවේ ඉඳන්ම මගේ ඉල්ලා අස්වීමේ ලිපිය එවන්නේ. මේ දක්වා මම ජනතාවට කවරදාකවත් බොරුවක් කියලා නැහැ. වංචාවක් කරලා නැහැ. ඒ නිසා මම කියූදේ කරන කෙනෙක්. කරන දේ කියන කෙනෙක්. එහෙනම් ඇත්තටම මොකද වුණේ ?

අවාසනාවට වුණේ මොකක්ද කියලා දන්නැති කෙනෙක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ විකෘති කළ වීඩියෝ පටයක් දාලා තිබ්බා රූපවාහිනී සංවාදයක. ඒක පාදක කරගෙන අනෙකුත් වෙබ් අඩවි සොයාබලන්නේ නැතිව අර තල්ගෙඩිය වැටුණාම ලෝකේ පෙරළෙනවයි කියලා දිව්ව සත්තු රැළවගේ ඒ බොරු විකෘති කළ වීඩියෝපටය පදනම් කරගෙන ප්‍රවෘත්ති දාලා තිබුණා.එහෙනම් ඇත්තටම මොකද වුනේ කියලා බලන්න අපි දැන් ඇත්ත වීඩියෝපටයට යමු. (වීඩියෝ පටය නැරඹීමට මෙම සබැඳිය වෙත යන්න (https://www.youtube.com/watch?v=MOeT1901wRE)

මම හිතන්නේ දැන් හැමෝම දැක්කා වෙච්ච දේ. මොකක්ද, එතුමා පොරොන්දුවක් දෙනවා අදින් පස්සේ, කවදද මේ අද 2014 අගෝස්තුමාසයේ 14 වෙනිදා රාත්‍රීයේ පොරොන්දු වෙනවා අදින් පස්සේ මම පෝස්ටර් ගහන්නේ නෑයි කියලා. හැබැයි මම පනස් දහසක් ගන්න බෑයි කියලා නෙවෙයි කිව්වේ. මම දන්නවා මේ පෝස්ටර් ගැසීම සහ නැති එක අතර පරතරය. එතුමාම කියනවා බදුල්ලේ මනාප ලක්ෂයක් ගන්න බැහැයි කියලා පොස්ටර් නැතුව. ඊට පස්සේ පනස්දහේ අභියෝගය එතුමා බාරගන්නවා. හැබැයි ඒත් පොස්ටර් ගහනවා. ඇයි පෝස්ටර් ගහන්නේ, එතුමා මනාප එක් ලක්ෂ හැත්තෑ තුන්දහසක් ගන්නවා. එතුමා දන්නවා පොස්ටර් නොගහා හිටියොත් පනස් දහසක් ගන්න බැහැයි කියලා. එතකොට පොස්ටරය ගැසීමේ බලපෑම තමයි ඔය වැඩි වුණු එක්ලක්ෂ විසිතුන්දහස.

එතකොට එතුමා 2014 අගෝස්තුමාසයේ 14 විද්‍යුත් නාළිකාවක, සජීවී රූපවාහිණී සංවාදයක ජාතියට පෙරොන්දු වෙනවා මම අදින් පස්සේ පෝස්ටර් ගහන්නේන නැහැයි කියලා. එතුමා ඒ පොරොන්දුව රැක්කාද කියලා අපි දැන් බලමු. මේ ඇවිත් පසුගිය සෙනසුරාදා පොරොන්දුවෙන් මාස එකහාමාරකට, පස්සේ මැතිවරණයෙන් සතියකට පස්සේ ගත් ඡායාරූප. අපි කිව්වා නීතිවිරෝධී කටවුට් තියෙන්න බැහැයි කියලා මේ පොස්ටර්, නීතිවිරෝධී කටවුට් තියෙනවා. එම පෝස්ටර් සහ නීතිවිරෝධී කටවුට් කිහිපයක් පහතින් දක්වා ඇත.

ඒ වගේම සැප්තැම්බර් මාසේ තුන් වෙනිදා ඌව පරණගම පොලීසියෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ පෝස්ටර් අලවමින් පාරේ තීන්තවලින් අඳිමින් සිටි තුෂාන් ඇන්ටන් කියන පුද්ගලයා අත්අඩංගොඩ අරගෙන වැලිමඩ උසාවියට ඉදිරිපත් කළා. ඒ නඩුවක් විභාග වෙනවා. ඒ නඩුවේ මීලඟ නඩු දිනය ඔක්තෝබර් මාසේ විසිඑක් වෙනිදායි. පෝස්ටර් තියෙනවා. පෝස්ටර් ඇලෙව්වා කියලා පිළිඅරන් පොලීසියට කටඋත්තර දීලා නඩු වැටිච්ච මිනිස්සු ඉන්නවා. එහෙනම් අපේ රටේ මාධ්‍ය ප්‍රශ්න කළ යුත්තේ මගෙන්ද? එහෙම නැත්නම් අපේ හිතවත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගෙන්ද? දුන් පොරොන්දු කැඩුවේ ඇයි කියලා එතුමාගෙන් කවුරුවත් ඇහුවේ නැහැ.

ඇත්තෙන්ම මට එතුමාව පීඩනයට ලක් කරන්න ඕනේ වුනේ නැහැ. එතුමා මැතිවරණයට තරඟකරන කෙනෙක්. මම මැතිවරණය තරඟ නොකරන කෙනෙක්. මට මතකයි අපි හිටිය පීඩනය. ඒ නිසා එතුමා පෝස්ටර් අලවන බව අපි හොඳටම දැනගෙන හිටියා. හැබැයි ඉතින් එතුමා එහෙනම් මේ අභියෝගය අතහැරියායි කියලා හිතලා, අපි ඇයි මේ දුන් පොරොන්දු කඩ කරන්නේ කියලා එතුමා පස්සෙන් ගියේ නැහැ. මොකද එතුමා අපේක්ෂකයෙක්. මම අපේක්ෂකයෙක් නොවී එහෙම කරන එක සදාචාරාත්මක නැහැයි කියලා මට හිතුණා. නමුත් වඳින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටුණා වගේ දැන් ඔන්න අහනවා කෝ අස් වෙනවද ? පනස්දහට වඩා ගත්තානේ කියලා. හැබැයි භාර දුන්න කොන්දේසිය, භාර දුන්නු අභියෝගය ඉටු කරන්නේ නැතිව. ඉතින් අපි සාක්ෂි සහිතව මේක ඉදිරිපත් කළා. ඉතින් අපි එතුමා පෝස්ටර් අලවලා, නීති කඩලා, පරිසරය විනාශ කරලා හරි එතුමා එක්ලක්ෂ හැත්තෑතුන්දහසක වාර්තාගත මනාපයක්, වාර්තාගත මනාප ප්‍රතිශතයක් ලබාගත් නිසා අපේ මිත්‍රයෙක්, දේශපාලනයේ ඉන්න හොඳ සටන්කාමියෙක්. ඉතින් එතුමා ඒ ලබාගත්ත ජයග්‍රහණය ගැන අපි සතුටු වෙනවා.

මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි විපක්ෂය දුර්වලවීම. ආණ්ඩුවේ පහුගිය කාලයේ වෙච්ච අඩුපාඩුවලට වැඩියෙන් වගකියන්න ඕනේ විපක්ෂය විදිහටයි මම දකින්නේ. මේ ආණ්ඩුව ඇතුළේ තිබුණා හැඟීමක් අපි මොනවා කළත් ඡන්දේ දිනනවා. ඒ නිසා සමහරු නීතිය ගණන් නොගෙන හිටියා. සමහර අය ඉතා විවෘතවම වංචා දූෂණවල යෙදුනා. දැන් ඒ හරීන් ප්‍රනාන්දු මහතාගේ ජයග්‍රහණයත් එක්ක එහෙම්මම බැහැයි කියලා හැඟීමක් ඇති වෙලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක් විදිහටයි මම දකින්නේ.