ශ්‍රී ලංකාව ගැන හෙට මොනවා කියයිද?

ශ්‍රී ලංකාව ගැන හෙට මොනවා කියයිද?

September 23, 2014   11:16 am

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහකොමසාරිස්වරියගේ කමිටුව විසින් පවත්වන පරීක්ෂණයේ ප්‍රගතිය පිළිබඳ වාචික ප්‍රකාශයක් හෙට (24) ජිනීවා මානව හිමිකම් සමුළුවේ 27 වැනි සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීමට ජගත් මානව හිමිකම් පිළිබඳ හිටපු මහකොමසාරිස් නවි පිල්ලේ විසින් කමිටුවක් පත් කරන ලදී.

එම කමිටුව විසින් සිදුකරන පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාවක් ලබන වසරේ මාර්තු මසදී ජිනීවා හී රැස්වන 28 වැනි ජගත් මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම වාර්තාවට පෙරාතුව දැනට සිදුකරගෙන යන පරීක්ෂණයේ ප්‍රගතිය පිළිබඳ වාචික ප්‍රකාශයක් මේවන විට පැවැත්වෙන 27 වැනි සැසිවාරය සඳහා හෙට ඉදිරිපත් කිරීමට නියමිතය.

එම ප්‍රකාශය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසෙන් විසින් බොහෝ දුරට සිදුකිරීමට නියමිත බව පැවසේ.

එම වාචික ප්‍රකාශනයේදී ශ්‍රී ලංකාවේ වත්මන් මානව හිමිකම් තත්ත්වය මෙන්ම යුද ගැටුම් නිසා බිඳ වැටුණු සමගි සන්ධාන ක්‍රියාවලියත් වගවීමේ ක්‍රියාවලිය ගැනත් අවධානය යොමුවනු ඇතැයි කියැවේ.

යුද්ධයෙන් පසු ඇරඹු නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය හා ප්‍රතිසංස්කරණ කටයුතු වලට අමතරව සිදුවෙමින් පවත්නා භීෂණ හා ප්‍රචණ්ඩකාරි ක්‍රියා පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි අවධානය යොමු කළ යුතු බව ද ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා විශ්වාසය පළ කරයි.

එසේම උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම විසින් අනාවරණය කරගත් පරිදි ගැටුම් ඇතිවීමට බලපෑ මූලික හේතුවලට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර ගැන අදහස් දැක්වීමට මෙය අවස්ථාවක් කරගන්නා ලෙසද ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.

තවද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ම‍‍හකොමසාරිස් සෙයිද් අල් රාද් හුසෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ එකී පරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා බලධාරීන් පූර්ණ සහයදීම වැදගත් බවයි.