මුදලාලිට මෙදාපාර මොළේ පෑදෙයි

මුදලාලිට මෙදාපාර මොළේ පෑදෙයි

September 22, 2014   02:51 pm

ඇළහැර ප්‍රදේශයේ මැණික් පතලකින් ලැබුණු බව කියමින් රුපියල් ලක්ෂ 10ට ව්‍යාජ නිල් මැණිකක් ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු පොළොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක් විසින් පො‍ෙළාන්නරුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මීට පෙරත් මොවුන් පුෂ්පරාග ගලක් එම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 5ට අලෙවි කර තිබේ.

එය ස්වර්ණාභරණ අධිකාරිය විසින් පරික්ෂා කර එම මැණික් ගල ව්‍යාජ එකක් බවට හඳුනාගෙන ඇත.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් යන අතරම යළිත් එකී ව්‍යාපාරිකයාට මොවුන් රුපියල් ලක්ෂ 10ට මෙම ව්‍යාජ මැණික් ගල විකිණීමට උත්සාහ කර තිබේ.

ඒ අනූව සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රා‍ත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව අප වාර්තාකරු කියයි.

එසේ විකිණීමට තැත් කළ බව කියන ව්‍යාජ මැණික් ගලේ ඡායා රූපයක් ඉහත වේ.

ඡායා රූ - ගාමිණි ඔබේසේකර