ඌවේ ජය රජයේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට දුන් ජනවරමක්

ඌවේ ජය රජයේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට දුන් ජනවරමක්

September 21, 2014   08:51 pm

මෙවර ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ විශිෂ්ට ජයග‍්‍රහණය රජයේ සංවර්ධන වැඩපිළිවෙළ තව තවත් වේගවත්ව ඉදිරියට ගෙන යාමට ලබා දුන් ජනවරමක් බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියයි.

ඌව පළාත් සභා මැතිවරණය පිළිබඳ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එම නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.

මෙවර ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ විශිෂ්ට ජයග‍්‍රහණය රජයේ සංවර්ධන වැඩපිළිවෙළ තව තවත් වේගවත්ව ඉදිරියට ගෙන යාමට ලබා දුන් ජනවරමකි. මෙම ජයග‍්‍රහණය ඌවට සේම මුළු රටටම වැදගත් ජයග‍්‍රහණයක් බවද කිව යුතුය. එසේම වත්මන් රජය රටට ලබා දුන් නිදහස, සාමය මෙන්ම රටේ දුෂ්කර පළාත්වලට ගෙන ගිය මහා සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මෙම විජයග‍්‍රණයත් සමග ඌවේ ජනතාව තම ආශිර්වාදය පළ කර ඇත.

රජයට එරෙහිව ගෙන ගිය ද්වේෂ සහගත හා අපහාසාත්මක චෝදනා ඌවේ ජනතාව තදින්ම ප‍්‍රතික්ෂේප කර ඇති බවද මෙම විජයග‍්‍රහණයෙන් තහවුරු කෙරේ. අපට අන් සියල්ලටම වඩා වැදගත් වන්නේ මේ රටේ ජනතාවගේ කැමැත්ත බව දැඩිව අවධාරණය කළ යුතුයි. එමෙන්ම රටේ ජනතාවගේ අවශ්‍යතාවයන්, ජාතියේ අවශ්‍යතාවයන් පරාජය කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවද යළි යළිත් අවධාරණය කරමි.

සියලූ ජාතීන් ආගම් අදහන ජනතාව එක් වී සම්පූර්ණ කළ මෙම විජයග‍්‍රහණය ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමක් බවද සිහිපත් කරමි. කෙළෙහි ගුණයෙන් සපිරි ඌව වෙල්ලස්සේ වීරෝධාර ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදුන් මෙම විශිෂ්ට ජයග‍්‍රහණයට මාගේ ප‍්‍රණාමය පුද කර සිටින අතරම එම විජයග‍්‍රහණය රටේත් ජනතාවගේත් යහපතටම දූ පුතුන්ගේ අනාගත අභිවෘද්ධියටම යොදවන බවද ප‍්‍රකාශ කරමි.

ඌවේ ජනතාව හමුවට ගිය සෑම අවස්ථාවකම ජාති, ආගම් භේදයකින් තොරව දූ පුතුන් ද පිරිවරා එක් රොක් වෙමින් මාහට දැක්වූ මිත‍්‍රශීලි බවද ආදරයද සදා සිහිපත් කරමි. මෙම මැතිවරණය සාමකාමී මැතිවරණයක් කර ගැනීමට කැප වූ සියලූදෙනා වෙත මාගේ ප‍්‍රණාමය පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි.

2014-09-21