සන්ධානය ඌව දිනයි - වසර ගණනකට පසු එජාපයේ ඡන්ද ප්‍රතිශතය 40% පනී - සමස්ත ප්‍රතිඵලය මෙන්න

සන්ධානය ඌව දිනයි - වසර ගණනකට පසු එජාපයේ ඡන්ද ප්‍රතිශතය 40% පනී - සමස්ත ප්‍රතිඵලය මෙන්න

September 21, 2014   09:03 am

ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349,906 ක් ලබා ප්‍රසාද මන්ත්‍රී ආසන 2ද සමගින් මන්ත්‍රී ආසන 19ක්ද, ලබාගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂය ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව ඡන්ද 274,773ක් සමගින් මන්ත්‍රී ආසන 13ක් ලබා ගැනීමට සමත් විය.

ජනතා විමුක්ති පෙරමුණ ඌව පළාත් සභාවේ සමස්ත ප්‍රතිඵලයට අනූව ඡන්ද 36,580ක් මන්ත්‍රී ආසන 2ක් හිමිකර ගෙන තිබේ.

ඒ අනූව සමස්ත ප්‍රතිඵලය ප්‍රතිශතයක් ලෙස ගත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානය සියයට 51.2ක් ලබාගෙන ඇත.

එක්සත් ජාතික පක්ෂය පෙර මැතිවරණවලට සාපේක්ෂව සියයට 40.2ක ප්‍රතිශතයක් ලබාගෙන තිබේ.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ සියයට 5.3ක ප්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත්ව ඇත.

ඒ අනූව සන්ධානය සමස්ත මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට වඩා ලබා ගෙන ඇත්තේ වැඩි ඡන්ද 75,133ක් පමණි.

සෙසු කුඩා පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් හැර ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද 36,580ද එජාපය ලබාගත් ඡන්ද 274,773ට එක් කළ විට එක්සත් ජනතා නිදහස් සන්ධානය එම පක්ෂ දෙකට වඩා ලබාගෙන ඇත්තේ ඡන්ද 38,553කි.

මේ අනූව 2009 ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය හා සැසඳීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද සංඛ්‍යාව මෙන්ම ආසන ගණන ද අඩු වී ඇත.

2009 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයට අනූව සන්ධානය බදුල්ල හා මොණරාගල ‍දිස්ත්‍රීක්ක දෙකෙන්ම ඡන්ද 418,906ක් ලබා සියයට 72.39ක ප්‍රතිශතයක් සමගින් ආසන 25ක් හිමිකර ගැනීමට සමත් වූ නමුත් මෙවර එම ආසන සංඛ්‍යාව 19 දක්වා අඩුවී තිබේ. (ප්‍රතිශතය 51.2 දක්වා අඩුවී ඇත)

මෙවර ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව ද 69,000කින් අඩු වී තිබේ.

2009 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයට අනූව එජාපය එම දිස්‍ත්‍රීක්ක දෙකෙන් ඡන්ද 129,144ක් ලබා සියයට 22.32ක ප්‍රතිශතයක් සමගින් ආසන 7ක් ලබාගත් නමුත් මෙවර එම ආසන සංඛ්‍යාවට තවත් 6ක් එකතුවී ආසන 13 දක්වා වර්ධනය වී ඇත. (ප්‍රතිශතය 40.2 දක්වා වැඩිවී ඇත)

මෙවර ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව ද 145,629කින් වැඩි වී තිබේ.

2009 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයට අනූව ජවිපෙ එම දිස්‍ත්‍රීක්ක දෙකෙන් ඡන්ද 14,639ක් ලබා සියයට 2.53ක ප්‍රතිශතයක් සමගින් ආසන 1ක් ලබාගත් නමුත් මෙවර එම ආසන සංඛ්‍යාවට තවත් 1ක් ආසනයක් එකතු වී ආසන 2 දක්වා වර්ධනය වී තිබේ. (ප්‍රතිශතය 5.3 දක්වා වැඩිවී ඇත)

මෙවර ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව ද 21,941කින් වැඩි වී තිබේ.

සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඌව පළාත් සභාවට ප්‍රථම වතාවට තරඟ කළ අතර දිස්ත්‍රීක්ක දෙකෙන්ම ඡන්ද 6076ක් ලබා සියයට 0.89ක ප්‍රතිශතයක් ලබාගත් නමුත් ඔවුන්ට එකදු ආසනයක් හෝ ලබා ගැනීමට නොහැකි විය.



ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළව බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගෙන තිබේ.



බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 209,056ක් ලබාගත් එම පක්ෂයට හිමිවු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 9ක් වේ.

ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 47.37කි.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 197,708ක් ලබාගනිමින් සියයට 44.79ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගෙන ඇත.

ඒ අනුව ඔවුන්ට හිමිවු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 8කි.

ජනතා විමුක්ති පෙරමුණ සියයට 4.67ක ඡන්ද ප්‍රතිශතයක් සමගින් 1ක් මන්ත්‍රී ධුරයක් හිමිකරගෙන තිබේ.

එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 20,625කි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය ඡන්ද 5045ක්, ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 4835ක් සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 3202ක් ලබා තිබේ.

මෙහිදී සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බදුල්ලෙන් සිව්වැනි තැනටත් විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ 5 වැනි තැනටත් පත්වීම විශේෂත්වයකි.

එසේ වුවද එම පක්ෂවලට බදුල්ල දිස්ත්‍රික්කයෙන් කිසිදු මන්ත්‍රී ධුරයක් හිමිව නැත.

කෙසේ වුවද සන්ධානයට මෙවර බදුල්ලෙන් ලැබී ඇත්තේ සියයට 47.37ක ඡන්ද ප්‍රතිශතයක් වීමත් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ ඡන්ද පදනම වැඩි කර ගනිමින් සියයට 44.79ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමත් කැපී පෙනේ.

සන්ධානය මෙවර බදුල්ල දිස්ත්‍රීක්කයේ ජය හිමිකරගත්තේ එක්සත් ජාතික පක්ෂයට වඩා වැඩි ඡන්ද 11,348කිනි.

එසේම සමස්ත විපක්ෂයේ ප්‍රතිඵල හා සැසඳීමේදී සන්ධානයේ ඡන්ද ප්‍රතිඵලය තවත් අඩුවන අතර දිස්ත්‍රීක්කයේ ජයග්‍රහණය මත ඔවුන්ට ආසන 9ක් හිමිව ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 9න් 6ක බලය හිමිකරගෙන ඇති අතර මැතිවරණ කොට්ඨාස 3ක බලය අත්කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය.

බදුල්ල ,වැලිමඩ සහ හාලිඇල ඡන්ද කොට්ඨාසවල ජය එක්සත් ජාතික පක්ෂයට හිමිවු අතර ඌව පරණගම, හපුතලේ, මහියංගනය, වියලුව, පස්සර සහ බණ්ඩාරවෙල යන ඡන්ද කොට්ඨාසවල ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකරගත්තේය.



බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම මැතිවරණ කොට්ඨාසය වැඩි ඡන්ද 197කින් ජය ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වී තිබේ.

එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 19,127කි.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18,930ක් ලබාගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2,545ක් ලබාගෙන ඇති අතර ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 1,160ක් ලබාගෙන තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද සංඛ්‍යාව 556කි.



බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය එක්සත් ජාතික පක්ෂයට හිමි විය.

එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 21,099කි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත්තේ ඡන්ද 15,001ක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2271ක් ලබාගෙන තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 336 යි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 199ක් ලබාගත්තේය.



බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ මැතිවරණ කොට්ඨාසය එක්සත් ජාතික පක්ෂය ජය ගත්තේය.

එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 23,046කි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 22,311ක් ලබාගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2485යි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය ඡන්ද 2363ක් ලබාගැනීමට සමත් වුණි.

ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 621ක් සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 492ක් ලබාගත්තේය.



බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ මැතිවරණ කොට්ඨාසය වැඩි ඡන්ද 2340කින් ජය ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් වුණි.

එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 21,637කි.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 19,297ක් ලබාගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 1261කි.

ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය ඡන්ද 812ක් ලබාගත්තේය.

ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 287යි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 233කි.



මහියංගනය මැතිවරණ කොට්ඨාසයේ ද ජය හිමිවුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටය.

එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 32,863කි.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 25,956ක් ලබා තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 3976යි.

ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 1466ක් ලබාගෙන ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 467යි.



බදුල්ල දිස්ත්‍රික්කයේ වියලුව ඡන්ද කොට්ඨාසය වැඩි ඡන්ද 2965කින් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගත්තේය.

එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 17,650කි.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 14,695ක් ලබාගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 958කි.

ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 254ක් සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 223ක් ලබාගත්තේය.



බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර මැතිවරණ කොට්ඨාසයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 23,188කි.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 16,426ක් ලබාගත්තේය.

ඒ අනුව වැඩි ඡන්ද 6,762කින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජය හිමිවුණි.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 800ක්, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය ඡන්ද 488ක්, ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 123ක් සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 121ක් ලබාගත්තේය.



බදුල්ල, හාලිඇල මැතිවරණ කොට්ඨාසයෙන් එක්සත් ජාතික පක්ෂය ජය අත්කර ගැනීමට සමත්විය.

එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 23,900යි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 21,104ක් ලබාගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 1942කි.

ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 272ක් සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 211ක් ලබාගත්තේය.



බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ඡන්ද කොට්ඨාසයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවුයේ වැඩි ඡන්ද 280කිනි.

එම පක්ෂය ඡන්ද 27,365ක් ලබාගත්තේය.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 27,085ක් ලබාගැනීමට සමත් වුණි.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2300කි.

ජාතික නිදහස් පෙරමුණ ඡන්ද 406ක් ලබාගෙන ඇත.



මොණරාගල සමස්ත ඡන්ද ප්‍රතිඵලයට අනූව සන්ධානය ඡන්ද 140,850ක් ලබා සියයට 58.34ක ප්‍රතිශතයක් ලබා ආසන 8ක් ගැනීමට සමත් විය.

එක්සත් ජාතික පක්ෂය 77,065ක් ලබා සියයට 31.92ක ප්‍රතිශතයක් සමගින් ආසන 5ක් ලබා දෙවන ස්ථානය ගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණ 14,960 ඡන්ද සංඛ්‍යාවක් ලබා සියයට 6.20ක ප්‍රතිශතයක්ද සමගින් එක් ආසනයක් ලබා ගැනීමට සමත් විය.

මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල මැතිවරණ කොට්ඨාසයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 33,307ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයට හිමි වුයේ ඡන්ද 16,229කි.

ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2957ක් වේ.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 1016ක් ලබාගත්තේය.



මොණරාගල දිස්ත්‍රික්කයේ මොණරාගල ඡන්ද කොට්ඨාසයෙන් ඡන්ද 44,921ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජය හිමි වුණි.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 22,456ක් ලබාගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 3293කි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද 653ක් ලබාගත්තේය.



මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය මැතිවරණ කොට්ඨාසයේ සියයට 54යි දශම දෙකක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය හිමිකරගෙන තිබේ.

එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 56,990ක්.

එක්සත් ජාතික පක්ෂය ඡන්ද 35,580ක් ලබා ගනිමින් සියයට 33.84ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත්තේය.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 8704යි.

එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 8.28කි.

ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ ද සියලු මැතිවරණ කොට්ඨාසවල ජය සන්ධානයට හිමිවිය.



ඌව පළාත් ජන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල ජය හිමිකරගෙන තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය මොණරාගල දිස්ත්‍රික්කයෙන් ලබා ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 5632කි.

එක්සත් ජාතික පක්ෂය එම දිස්ත්‍රික්කයෙන් ලබාගත් තැපැල් ඡන්ද සංඛ්‍යාව 2800ක් වේ.

ජනතා විමුක්ති පෙරමුණ තැපැල් ඡන්ද 1001ක් ලබා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට තැපැල් ඡන්ද 395ක් හිමිව තිබේ.



බදුල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 8810ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පෙරමුණගත් අතර එක්සත් ජාතික පක්ෂය තැපැල් ඡන්ද 7274ක් ලබා ඇත.

ජනතා විමුක්ති පෙරමුණ එම දිස්ත්‍රික්කයෙන් තැපැල් ඡන්ද 2087ක් ලබා තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බදුල්ල දිස්ත්‍රික්කයෙන් ලබා ඇති තැපැල් ඡන්ද සංඛ්‍යාව 517කි.



2009 වසරේ ඌව පළාත් සභාවේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය හා සැසදීමේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප්‍රතිශතය අඩු වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය ඉහළ ගොස් තිබේ.

ඒ අනූව වසර කිහිපයකට පසු එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය සියයට 40ඉක්මවා යාම මෙවර කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස පෙන්වාදිය හැකිය.

පසුගිය වසරවල පැවැති මැතිවරණවලදී ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය සියයට 20-40ත් අතර පැවතුණි.



මේ අතර මැතිවරණයේ ප්‍රතිඵල සාමකාමීව භුක්ති විඳින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ නීති විරෝධී පෙළපාලී පවත්වන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවයි.

එමෙන්ම ඌව පළාතේ ආරක්ෂක විධිවිධාන තවදුරටත් තර කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.