08 වැනි ආසියානු දේශපාලන පක්ෂ සමුළුව අද ඇරඹේ

08 වැනි ආසියානු දේශපාලන පක්ෂ සමුළුව අද ඇරඹේ

September 19, 2014   09:15 am

08 වැනි අන්තර්ජාතික ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනය අද කොළඹ දී ආරම්භ වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී සමුළුවේ සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය.

සමුළුවේ සාකච්ඡා වාර පැවැත්වෙන්නේ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදීය.

ආසියානු සමාජයක් බිහි කිරීම යන්න තේමා කරගනිමින් අද ආරම්භ වන සමුළුව, ලබන 21 වන දින දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා රටවල් 33ක දේශපාලන පක්ෂ 75ක නියෝජිතයින් 253 දෙනෙකු සහභාගි වෙති.

සමුළුවට සහභාගි වීම සඳහා මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයුම් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියහ.

පී.මුරලිදර් රාවෝ සහ විජේ ජොලි යන භාරතීය ජනතා පක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ද සමුළුවට සහභාගි වීමට නියමිතය.

මීට අමතරව චීනය, රුසියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, ජපානය, කොරියාව, ඉරානය, ඉරාකය, සිංගප්පූරුව යන රටවල නියෝජිතයින් ද ඊට ඇතුළත්ය.

සමුළුව අවසානයේ කොළඹ ප්‍රකාශනය නමින් ප්‍රකාශනයක් එළි දැක්වීමට ද නියමිතය.

2000 වසරේ දී පිලිපීනයේ මැනිලා නුවර දී ආරම්භ වු අන්තර්ජාතික ආසියානු දේශපාලන පක්ෂ සම්මේලනය බැංකොක්, බීජිං, සෝල්, ඇස්ටානා, නොම් පෙන් සහ බකු යන නගර වල මීට පෙර පවත්වා ඇත.

වසර දෙකකට වරක් සම්මේලනය පැවැත්වෙයි.

අද පැවැත්වෙන සම්මේලනයේ දී එහි සභාපතීත්වය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවනු ඇත .

එහි වත්මන් සභාපතිත්වය දරන්නේ කොරියාවය.

සමුළුවේ සංවිධායක කමිටුවේ සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ මීට අදාළ සැසිවාර කිහිපයක් පැවැත්වුණි.

ප්‍රධාන සමුළුවට සමගාමීව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තරුණ සමුළුවක් ද පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කාන්තා සමුළුවක්ද පැවැත්වෙයි.

නියෝජිත පිරිස 21 වැනිදා ගාල්ල ප්‍රදේශයේ සංචාරය කිරීමට ද නියමිතය.