ඉබෝලා මඬින්න ජනපතිගෙන් අත්වැසුම් මිලියනයක්

ඉබෝලා මඬින්න ජනපතිගෙන් අත්වැසුම් මිලියනයක්

September 18, 2014   08:48 pm

බටහිර අප්‍රිකානු කලාපයේ පැතිර යන ඉබෝලා වෛරසය පාලනය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මිලියනයකට අධික අත්වැසුම් තොගයක් පරිත්‍යාග කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආචාර්ය ෆිර්දෝසි මෙහෙතා මහතාට එකී පරිත්‍යාගය අද සවස කළ බව ජනපති මාධ්‍ය අංශය කියයි.

බටහිර අප්‍රිකාවේ පැතිර යන ඉබෝලා වෛරසය ලෝක ආරක්ෂාවට තර්ජනයක් බව අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාද මීට දින කිහිපයකට ඉහතදී ප්‍රකාශ කර තිබුණි.

වෛරසය පැතිර යාම පාලනය කිරීමට ලොව සියලු රටවල් වගකීමෙන් කටයුතු කළ යුතු බව ඔහු එහිදී පෙන්වාදෙන ලදී.

ඉබෝලා වෛරසය පැතිර යාම පාලනය කිරීමේ කටයුතු වලට සහය දැක්වීම සඳහා 3000ක අමෙරිකානු භට පිරිසක් යොමු කිරීමට පියවරගෙන ඇති අතර මෙම වෛරසය හේතුවෙන් ලයිබීරියාව, ගිනියාව, සියරා ලියෝන් සහ නයිජිරියාව යන රටවල මේ වන විට පුද්ගලයින් 2500 ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා අනාවරණය කරයි.

මෙම මරණවලින් 1200ට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ලයිබීරියාවෙනි.