බණ්ඩාරවෙල අනතුර හිතාමතා කරපු එකක් - චෝදනා ප්‍රතික්ෂේප කරනවා

බණ්ඩාරවෙල අනතුර හිතාමතා කරපු එකක් - චෝදනා ප්‍රතික්ෂේප කරනවා

September 18, 2014   07:30 pm

ඌව පළාත් සභා මැතිවරණයේ ලංකා කම්කරු කොංග‍්‍රසයේ සන්ධාන අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමාන් මහතාව වාහනයකින් යටකර අනතුරට පත්කිරීම සැලසුම් සහගත ක‍්‍රියාවක් බව ලංකා කම්කරු කොංග‍්‍රසය පවසයි.

එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේදී බණ්ඩාරවෙල නගරයේදී පැවති මාධ්‍ය සාකච්ජාවකදී එම පක්ෂයේ සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.

සෙන්දිල් තොණ්ඩමාන් මහතාගේ විජයග‍්‍රහණය දරාගැනීමට නොහැකි සන්ධානයේම ඇතැම් පිරිස් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම් වශයෙන් සේවය කළ පුද්ගලයෙකු මෙම කුමන්ත‍්‍රණයට යොදවා ගෙන මෙම අනතුර සිදුකර ඇති බවටද ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතාද පවසයි.

මෙම ජීප් රථය පැයට කි.මි 60 ක වේගයෙන් ධාවනය කර ඇති බවත් එය සෙන්දිල් තොණ්ඩමාන් මහතා සිටි දෙසටම ධාවනය කර මෙම අනතුර සිදුකිරීම හේතුවෙන් මෙය සැලසුම්සහගත ක‍්‍රියාවක් ලෙස තමන්ට සැක කළ හැකි බවද ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපතිවරයා සඳහන් කරයි.

මෙම අනතුර පිළිබඳව ජනාධිපතිතුමාටද දැනුම්දී ඇති බවත් එතුමාගේ උපදෙස් පරිදි මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භකර ඇති බවත්, මෙම අනතුරින් සෙන්දිල් තොණ්ඩමාන් මහතා ඇතුළු 24 දෙනෙකු තුවාල ලබා එක් අයෙකු මියගොස් ඇති බවත්, මෙම මාධ්‍ය සාකච්ජාවේදී නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් මහතා කියයි.

මෙම මාධ්‍ය සාකච්ජාවට ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන්, සභාපති මුත්තු සිවලිංගම්, ලංකා කම්කරු කොංග‍්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී එස්. සත්‍යවේල් යන අයද සහභාගි විය.

මේ අතර එම අනතුරට තමාගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා අපේක්ෂක වඩිවෙල් සුරේෂ් මහතා පවසයි.

ඔහු පවසන්නේ සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් තමාට එරෙහිව ඇතැම් පිරිස් චෝදනා එල්ල කරන බවයි.

අනතුරට සම්බන්ධ ජීප් රථය පැදවූ රියදුරා තමා සමග සම්බන්ධතා පැවැත්වු අයෙකු බවට ද ඇතැම් පිරිස් චෝදනා එල්ල කරන බව හෙතෙම කියා සිටියි.