සහල් කිලෝ ලක්ෂ 38ක් විකුණා කෝටි 26ක් හෙව්වා

සහල් කිලෝ ලක්ෂ 38ක් විකුණා කෝටි 26ක් හෙව්වා

September 17, 2014   03:11 pm

සතොස හරහා සහල් අඩුමිලට ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 38ක් අලෙවි කර ඇති බව සමුපකාර හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පවසයි.

පසුගිය 12 වන දින සිට ආරම්භ කළ එම වැඩපිළිවෙළ යටතේ සතොස රුපියල් විසිහයකෝටි හැටලක්ෂයක විකුණුම් ආදායමක් ලබා ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියයි.

අඩුමිලට සහල් ලබා දීමේ මෙම වැඩපිළිවෙළ යටතේ සම්බා කිලෝවක් රුපියල් 76කට, සුදු කැකුළු කිලෝවක් රුපියල් 64කට සුදු නාඩු කිලෝවක් රුපියල් 67කට සතොස හරහා අලෙවි කිරීම සිදුවේ.

සහල් මිල පාලනය කිරීමේ අරමුණින් දිවයිනපුරා ලංකා සතොස ශාඛාවන් 300ක් මගින් සහල් අලෙවි කිරීම අඛණ්ඩව සිදුකරන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

කොළඹ ගම්පහ, කුරුණෑගල, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වල සතොස ලොරි රථ 37ක් මගින් පාලන මිලට සහල් අලෙවි කිරීම සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයක් ආවරණය වන පරිදි සහල් අලෙවි කරන ලොරි රථ යොදවන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියා සිටියි.

මේ අතර සහල් සඳහා වන ආනයන බදු අඩු කිරීම හේතුවෙන් පෞද්ගලික අංශය විසින් සහල් ආනයනය කිරීම වැඩිකර ඇති අතර මේ වනවිට සහල් හිඟයකින් තොරව වෙළඳපොළට නිකුත් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.