විදුලිබිල රුපියල් 100යි නම් අලුත් ගාස්තුව 75යි - අඩු කෙරෙන්නේ එහෙමයි

විදුලිබිල රුපියල් 100යි නම් අලුත් ගාස්තුව 75යි - අඩු කෙරෙන්නේ එහෙමයි

September 17, 2014   12:28 pm

විදුලිගාස්තු සියයට 25කින් අඩු කෙරෙන්නේ මාසිකව ලැබෙන විදුලිබිල්පතේ අගයෙන් සියයට 25ක් ලෙස බව විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් බී. ගනේගල මහතා කියයි..

දැනට විදුලිබිල සකස් වන‍්නේ ස්ථාවර ගාස්තුව හා ඉන්ධන ගැලපුම් ගාස්තුවේ එකතුවක් ලෙසය.

එසේම භාවිතයට ගැනෙන ඒකක (යුනිට්) මත පදනම්වද විදුලි ගාස්තු එක් එක් පුද්ගලයාට හා කර්මාන්ත අනූව ගාස්තු අඩු වැඩිවේ.

එම තත්ත්වයන් කෙසේ වුවද ඕනෑම අයෙකු අතට ලැබෙන විදුලිබිලෙන් සියයට 25ක් අඩු කර නව ගාස්තුව ප්‍රකාශයට පත් කරන බව ඒ මහතා කියයි.

උදාහරණයක් ලෙස මාසික විදුලිබිල රුපියල් 100ක් නම් ඉන් සියයට 25ක් එනම් නව ගාස්තුව රුපියල් 75ක් බව හෙතෙම පෙන්වාදෙයි.

අද හෙට ලැබෙන විදුබිල් වලින් එම ගාස්තුව අඩු නොවන බවත්, නව ගාස්තුව ක්‍රියාත්මක වීමට සති දෙකක්වත් යනු ඇති බවත්, හෙතෙම කියයි.

නොරොච්චෝලේ විදුලිබලාගාරයේ තෙවැනි අදියර ජාතික විදුලිබල පද්ධතියට එක් කළ බැවින් විදුලිගාස්තු අඩු කරන බව ජනපති ඊයේ කීවේය.