ශ්‍රී ලංකා බාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා බේරාගැනීමේ වෑයමක්

ශ්‍රී ලංකා බාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා බේරාගැනීමේ වෑයමක්

September 16, 2014   12:34 pm

ශ්‍රී ලංකා බලධාරීන් බාරයේ පවතින යාත්‍රා සහ ධීවරයින් නිදහස් කර ගැනීමේ අරමුණින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තමිල්නාඩු ධීවරයින් පිරිසක් සුදානම් වේ.

තමිල්නාඩු, පූම්පුහාර් ප්‍රදේශයේ ධීවර සංගම් නියෝජිතයින් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අදාළ සාකච්ඡාව සඳහා සහභාගී විමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රාන්ත අමාත්‍ය පොන් රාධකිෂ්ණන්ගේ මැදිහත් වීමෙන් මෙම සාකච්ඡාව ලබන 18 වැනිදා හෝ 19 වැනිදා පැවැත්වීමට නියමිත බව සඳහන්ය.

තමිල්නාඩු, පූම්පුහාර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවරයින් 21 දෙනෙකු සහ ඔවුන්ගේ යාත්‍රා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය 11 වන දින අත්අඩංගුවට ගත් බව එම ධීවරයින් පවසයි.

එයට විරෝධය පළකරමින් ලබන බ්‍රහස්පතින්දා වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට ඔවුන් තීරණය කර ඇත.

මේ අතර නරේන්ද්‍ර මෝඩිගේ රජය ඉන්දු ලංකා ධීවර ගැටළු සම්බන්ධයෙන් දෙබඩි පිළිවෙතක් අනුගමනය කරන බවට තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය සිදුකළ ප්‍රකාශය භාරතීය ජනතා පක්ෂය ප්‍රතික්ෂේප කරයි.

එම පක්ෂයේ තමිල්නාඩු ප්‍රාන්ත සභාපතිවරිය ප්‍රකාශ කර ඇත්තේ භාරතීය ජනතා පක්ෂ රජය මේ වන විටත් අදාළ ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරින් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.