චීන ජනපති අද එයි

චීන ජනපති අද එයි

September 16, 2014   08:41 am

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණිමට නියමිතව තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව චීන ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

1957 වසරේ පෙබරවාරි 07 වන දින ශ්‍රී ලංකාව සහ චීනය අතර පූර්ණ රාජතාන්ත්‍රික සබඳතා ආරම්භ වී තිබේ.

චීන ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ වසර 28කට පසුව වීම විශේෂත්වයකි.

මීට පෙර 1986 වසරේ දී ලී ෂියානීන් චීන ජනාධිපතිවරයා මෙරට සංචාරය කර ඇත.

වර්තමානයේ මෙරට ක්‍රියාත්මක විශාලතම සංවර්ධන ව්‍යාපෘති රැසක හිමිකාරීත්වය දරනු ලබන්නේ චීනය යි.

දක්ෂිණ අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය, මත්තල ගුවන්තොටුපළ, කටුනායක අධිවේගී මාර්ගය, මොරගහකන්ද වාරිමාර්ග ව්‍යාපෘතිය, නෙළුම්පොකුණ රඟහල ඉන් කිහිපයකි.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාගේ මෙම සංචාරයත් සමඟ චීන ශ්‍රී ලංකා සබදතාවල නව පරිච්ඡේදයක් ආරම්භ වනු ඇත.

චීන ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබේ.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ තෙවන අදියර විවෘත කිරීම, ගාලු මුවදොර නව වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම චීන ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.