සිසුන්ට ලිංගික අපයෝජන කළ මන්ත්‍රී තාමත් නිදැල්ලේ - රට පැනීම තහනම්

සිසුන්ට ලිංගික අපයෝජන කළ මන්ත්‍රී තාමත් නිදැල්ලේ - රට පැනීම තහනම්

September 15, 2014   09:53 am

පාසල් සිසුන් 07දෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී එම්.එස්.සුල්තාන් මරික්කාර්ට රටින් පිටවීම තහනම් කරමින් පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් ෆසාල් අබුතාහිර් මහතා ආගමන විගමන පාලකවරයාට නියෝගයක් නිකුත් කර තිබේ.

වනාතවිල්ලුව පොලීසිය විසින් බී වාර්තාවක් මගින් අධිකරණයෙන් කර ඇති ඉල්ලීමකට අනුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කර ඇත.

ඔහු කරතිව් - පොම්පරිප්පු පදිංචිකරුවෙකි.

වනාතවිල්ලුව - කරතිව් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පාසලක දරුවන් පිරිසක් පසුගිය 02 වැනිදා අධ්‍යාපන චාරිකාවක් සඳහා පිටත්ව ගොස් ඇත.

මෙම චාරිකාවට එම විද්‍යාලයේ 09,10,11 සහ 12 පන්තිවල ඉගෙනුම ලබන සිසුන් 53 දෙනෙකු සහ සිසුවියන් 35 දෙනෙකු සහභාගි වී තිබේ.

පාසල් ගුරුවරුන් 05 දෙනෙකු, ගුරුවරියන් 06 දෙනෙකු සහ පාසල් සංවර්ධන කමිටුවේ සාමාජිකයින් 03 කුද මෙම චාරිකාවට එක්වී ඇත.සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාද චාරිකාවට එක්වූ පාසල් සංවර්ධන කමිටු සාමාජිකයින් අතර සිට ඇත.

මෙම පිරිස චාරිකාවේ පළමු දින එනම් 02 දා රාත්‍රීය ගත කර ඇත්තේ වැලිගම - කප්පල්තුරේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් තුළය.

එම දේවස්ථානය තුළදී සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් පාසල් සිසුන් 07 දෙනෙකු අපයෝජනය කර ඇති බවට වූ තොරතුරක් පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලැබී ඇත.

එම තොරතුරට අනුව අදාළ පරීක්ෂණ සිදු කරන ලෙස පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් වනාතවිල්ලුව පොලීසියට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව වනාතවිල්ලුව පොලීසියේ නිලධාරීන් සිද්ධියට සම්බන්ධ පාසලට ගොස් චාරිකාවට එක්වූ එහි සිසුන්ගෙන් සහ පාසල් ගුරුවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙම අපරාධය සිදුවී ඇත්තේ වැලිගම පොලිස් බලප්‍රදේශයේ බැවින් දැනට කර ඇති පරීක්ෂණ වල ප්‍රගතිය වනාතවිල්ලුව පොලීසිය විසින් වැලිගම පොලීසිය වෙත ලබා දී තිබේ.

මේ අතර සැකකාර මන්ත්‍රීවරයා විදේශ ගතවීමේ සුදානමක් පවතින බවට වූ තොරතුරක් වනාතවිල්ලුව පොලීසියට ලැබී ඇත.

එම තොරතුරට අනුව සැකකාර මන්ත්‍රීවරයාගේ විදේශ ගතවීම තහනම් කරන ලෙස ඉල්ලමින් වනාතවිල්ලුව පොලීසිය පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත්වරයගෙන් පසුගිය 14 වැනිදා ඉල්ලීමක් කර තිබේ.

එම ඉල්ලීම අනුව මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාර මන්ත්‍රීවරයාට විදේශ ගතවීම තහනම් කරමින් ඒ බව ආගන විගමන පාලකවරාය දැනුම් දීමට කටයුතු කර ඇත.

සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මේ වන විට ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති බව පොලීසිය කියයි.

ඔහු ඉහල පෙළේ දේශපාලකයෙකුගේ රැකවරණ ලබමින් සිටින බව වනාතවිල්ලුව ප්‍රදේශවාසීහු කියති.