මහා පරිමාණ ගංජා ජාවාරමක් හෙළිවෙයි

මහා පරිමාණ ගංජා ජාවාරමක් හෙළිවෙයි

September 14, 2014   04:31 pm

සුඛෝපභෝගි බස් රථ යොදාගනිමින් කේරළ ගංජා ප්‍රවාහනය කිරිමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වි තිබේ.

යාපනයේ සිට කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බෙදා හැරිම සඳහා මෙලෙස කේරළ ගංජා ප්‍රවාහනය කර ඇති බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

යාපනය කඳවුරේ බුද්ධි අංශ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රි විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකර තිබේ.

A-9 මාර්ගයේ පෙරියමඩු විශේෂ කාර්යය බලකා කඳවුර ඉදිරිපිටදි ක්ෂණික මාර්ග බාධක යොදා මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂා කළ බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

එහිදි යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු සුඛෝපභෝගි බස් රථයක සුක්ෂම ලෙස සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 13ක් සොයාගෙන තිබේ.

මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බව සඳහන් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ සහායක අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා කනගරායන්කුලම් පොලිස් ස්ථානය වෙත බාර දි තිබේ.