එළුවන් 8ක් එකතැනම මැරුණ හැටි

එළුවන් 8ක් එකතැනම මැරුණ හැටි

September 2, 2014   10:03 am

එළුවන් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාම හේතුවෙන් එළුවන් 08 දෙනෙකු මියගොස් ඇති බව හලාවත පොලීසිය කියයි.

අද (02) අළුයම 5.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී කැබ් රථය තුළ එළුවන් 50 දෙනෙකු පටවා තිබී ඇත.

මිය ගොස් ඇත්තේ කැබ් රථය තුළ පටවා සිටි එළුවන් බව පොලීසිය කියයි.

අධික වේගයෙන් පැමිණ ඇති කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවත් මතින් ගොස් කාණුවකට පෙරළී ගොස් තිබුණි.

වාහනයේ රියදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම මෙම අනතුරට හේතුව බව පොලීසිය කියයි.

එළුවන් ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර අනවශ්‍ය වුවත් සතුන්ට හිංසා වන ආකාරයෙන් මෙම එළුවන් ප්‍රවාහනය කර ඇති බැවින් ඊට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව පරීක්ෂණ සිදු කරන නිලධාරීන් සඳහන් කරයි.

මෙම එළුවන් අනුරාධපුරයේ සිට කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් සිටි බව අනතුරට පත්ව ඇති කැබ් රථයේ රියදුරු පොලීසිය හමුවේ පවසා ඇත. එම රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරත් සමගම කැබ් රථයේ සිටි එළුවන් පිරිසක් දිවි බේරා ගැනීම සඳහා ඒ අසල තිබූ බෝක්කුවක් යටට රිංගා ඇත.

පසුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එම එළුවන්ද පිටතට ගෙන හලාවත පොලීසිය දක්වා රැගෙන යාමට කටයුතු කර තිබේ.

හලාවත පොලීසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් 5739 අමරසිරි, පොලිස් කොස්තාපල් 35046 පෙරේරා යන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

ඡායා රූ - ජූඩ් සමන්ත