සරසවි කඩඉම් ලකුණු මේ සතියේ අගදී

සරසවි කඩඉම් ලකුණු මේ සතියේ අගදී

September 2, 2014   08:11 am

නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා වන කඩඉම් ලකුණු මෙම සතිය අවසානයේ නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සඳහන් කළේ 2013 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් සිසුන්ගේ කඩඉම් ලකුණු සකස් කිරීම මේ වන විට අවසන් කර ඇති බවයි.

ඒවා යළි පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබන සිකුරාදා දිනය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය කියයි.

නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලැබූ සිසුන් සඳහා වන නායකත්ව පුහුණුවේ පළමු අදියර ලබන 7 වන දින ආරම්භ වීමට නියමිතය.

නායකත්ව පුහුණුවෙන් අනතුරුව විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව වෛද්‍ය සහ ඉංජිනේරු පීඨවල අධ්‍යයන කටයුතු ඔක්තෝබර් මස අවසානයේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය සඳහන් කරයි.