වෘත්තීය සමිති ව්‍යාපාරයේ නොමැකෙන නාමයක් තැබූ බාලා තම්පෝ අභාවප්‍රාප්තවෙයි

වෘත්තීය සමිති ව්‍යාපාරයේ නොමැකෙන නාමයක් තැබූ බාලා තම්පෝ අභාවප්‍රාප්තවෙයි

September 1, 2014   04:19 pm

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ පරමාදර්ශි චරිතයක් වන වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ නායක බාලා තම්පෝ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට 92 වැනි වියේ පසුවූ ඔහු සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් 3.15ට පමණ ජීවිතක්ෂයට පත්වූ බව වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු පැවසීය.

අවසන් කටයුතු ලබන සිකුරාදා (05) බොරැල්ල සුසාන භූමියේදී සිදුකිරීමට කටයුතු යොදා ඇත.

බාලා තම්පෝ මහතා වයස අවුරුදු විසි හයේදී පමණ වෙළෙද සේවක සංගමයේ නායකත්වයට පත්වන අතර මැතකදී ඔහු සිය අනූ දෙවන ජන්ම දිනයද සමරනු ලැබීය.

එම අවස්ථාවට ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද පැමිණියේය.

ඒ අනුව ඔහු වෙළෙඳ සේවක සංගමයේ නායකත්වයට පත්ව අද වන විට වසර හැට හයක පමණ කාලයක් ගතව තිබේ.

වෘත්තීය සමිතියක නායකත්වය මේ තරම් කාලයක් දැරූ ලොව සිටින එකම පුද්ගලයා ලෙස බාලතම්පෝ මහතා සැලකීම මේ නිසා වරදක් නොවේ.

බාලා තම්පො මහතා අවුරුදු 55 පමණ සිට ඔහුගෙන් පසු අනුප්‍රාප්ති‍කයෙකු පත්කර ගැනීමට උත්සාහ කළත් අනුප්‍රාප්තිකයා මියයාම හෝ ඉවත්ව යාම නිසා එම උත්සාහය ද අසාර්ථක විය.