විදෙස් ගමන් මලු තුනක් ගල්වෙයි

විදෙස් ගමන් මලු තුනක් ගල්වෙයි

August 31, 2014   12:27 pm

විදේශයකින් මෙරටට එවන ලද ගමන් මලු තුනක තිබූ භාණ්ඩ වෙනුවට එම ගමන් මලුවලට පත්තර සහ කොන්ක්‍රීට් පතුරු දමා වංචා සිදුකළ තැපැල් නිලධාරීන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මැයි මස තුන්වන දින ඩුබායිහි සිට මෙරටට එවන ලද විදේශ ගමන්මලු තුනක් අයිතිකරුවන් රැගෙන නොයාම සම්බන්ධයෙන් කොටුව මධ්‍යම තැපැල් හුවමාරුවේ දී පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වෙයි.

එහිදි අදාළ ගමන්මලු වල පත්තර සහ කොන්ක්‍රීට් පතුරු දමා ඇති බවට මධ්‍යම තැපැල් හුවමාරුවේ විදේශ තැපැල් අධිකාරී ජේ.එච්.එම්.සමරසිංහ මහතා විසින් කොටුව පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනයකින් පසු තැපැල් ස්ථානාධිපතිවරයෙකු, පාර්සල් අංශයේ ස්ථානාධිපතිවරයෙකු, කාර්යාල කාර්යය සහයකයෙකු , අදේශ කම්කරුවෙකු සහ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලීසිය සඳහන් කළේය.

අදාළ නිලධාරීන් විසින් එම පාර්සල් මාරු කර වංචාව සිදුකිරීම සඳහා රුපියල් එක් ලක්ෂ දස දහසක පමණ මුදලක් ලබාගෙන ඇති බවට අනාවරණය වෙයි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ අදාළ පාර්සල් තුළ ජංගම දුරකථන සහ පරිගණක තිබී ඇති බවයි.

සැකකරුවන් විසින් පිටකොටුව වෙළෙඳසැලකට ලබා දී ඇති අදාළ ගමන් මලු වල තිබු ජංගම දුරකථන 173ක් සහ පරිගණක 4ක් පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරුවන් ගාල්ල, රඹුක්කන, නිට්ටඹුව, කොළඹ, අලවතුගොඩ සහ තිහාරිය යන ප්‍ර දේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසුවේය.

ඔවුන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.