ධීවර සාකච්ජා තීරණයක් නැතිව අවසන්

ධීවර සාකච්ජා තීරණයක් නැතිව අවසන්

August 30, 2014   01:02 pm

නවදිල්ලියේ පැවති ඉන්දු ශ්‍රි ලංකා ධීවර සාකච්ඡා තීරණයකින් තොරව අවසාන වි තිබේ.

ඊයේ (29) පස්වරුවේ පැවති මෙම සාකච්ඡා පැය 02 කට අධික කාලයක් පැවති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙම සාකච්ඡාව සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරින්, තමිල්නාඩු ධීවර නියෝජිතයන්, මෙරට ධීවර අමාත්‍යංශ නිලධාරින් සහ නවදිල්ලි ශ්‍රි ලංකා තනාපතිවරයා අදාළ සාකච්ඡා සඳහා එක්ව සිටි බව සඳහන් වෙයි.

මෙහිදි ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ මසුන් ඇල්ලීම සහ කච්චතිවි දූපතේ ධීවර කටයුතු වල නිරත විම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වි තිබේ.

මේ අතර දැනට ශ්‍රි ලංකාව භාරයේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කරන ලෙස ඉන්දීය පාර්ශවය ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් ශ්‍රි ලංකා බලධාරින් මේ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මීට අමතරව ශ්‍රි ලංකාවට ගංජා ප්‍රවාහනය කිරිමේ චෝදනාව මත 2011 වසරේ දි අත්අඩංගුවට ගත් ධීවරයින් 05 දෙනෙකු නිදහස් කරන ලෙස තමිල්නාඩු නියෝජිතයන් ශ්‍රි ලංකා බලධාරීන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.

එමෙන්ම කච්චතිව් දුපතේ ධීවර කටයුතු වල නිරත විමට අවස්ථාව ලබා දෙන ලෙස ද තමිල්නාඩු නියෝජිතයන් ශ්‍රි ලංකා නිලධාරින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර මෙම ධීවර සාකච්ඡා පිළිබඳව ධීවර අමාත්‍යංශ බලධාරින් සම්බන්ධ කර ගැනිමට අද දෙරණ උත්සහ කළ ද එම උත්සහයන් අසාර්ථක වුණි.

කෙසේ වෙතත් ඊළට වටයේ ධීවර සාකච්ඡා කොළඹ දි පැවැත්විමට තීරණය කර තිබේ.