ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තියට පටහැනිව නම් කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන අත්තනෝමතික ක්‍රියාවක්

ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තියට පටහැනිව නම් කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන අත්තනෝමතික ක්‍රියාවක්

August 30, 2014   12:33 am

ජාතික පාසල්වල අතිරික්ත යයි හඳුනාගත් ගුරුවරුන්ගේ නාම ලේඛනයක් අධ්‍යාපන ලේකම්වරයා විසින් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යොමු කොට එම ගුරුවරුන් ජාතික පාසල් වලින් පළාත් පාසල් වලට ස්ථාන මාරු කිරීමට මේ දිනවල කටයුතු යොදමින් තිබෙන බව ලංකා ගුරු සංගමය පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කළේය.

එම මාධ්‍ය නිවේදනය පහත පරිදි වෙයි.

ගුරුවරු 100 කට වැඩි පිරිසකගේ නම් එහි ඇතුළත් කොට ඇති අතර මෙම ගුරුවරුන් අතිරික්ත ගුරුවරු වශයෙන් නම් කරන ලද්දේ කුමන පදනමකින් ද යන්න ගැටළුවකි. සමහර ජාතික පාසල්වල වසර 14 ක් 15 ක් වැනි කාලයක් සේවය කළ ගුරුවරු සිටියදී වසර 10 කට අඩු ගුරුවරු ගණනාවක් මේ අනුව අතිරික්ත කොට ඇත. මෙය පැහැදිලිවම අත්තනෝමතිකව පලි ගැනීමේ චේතනාවෙන් සිදු කරන ලද කි‍්‍රයාදාමයක් බව පැහැදිලිය.

2007/20 දරණ ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තියට අනුව ගුරුමාරු වීම් මාරු මණ්ඩලය හරහා සිදු විය යුතු අතර අතිරික්ත ගුරුවරු තෝරා ගැනීම ද විධිමත් මණ්ඩලයකින් සිදු කළ යුතුය. මෙම පාසල්වල අතිරික්ත ගුරුවරු තෝරා ගැනීමේ පදනම විනිවිද නොපෙනෙන විදුහල්පතිවරුන්ගේ අවශ්‍යතා මත ජාතික පාසල් අධ්‍යක්ෂවරයාගේ තනි අභිමතය පරිදි සිදුවූවක් බව පැහැදිලිය.

මීට ඉහතදී අතිරික්ත ගුරුවරු ස්ථාන මාරු කරන පදනමෙන් ජාතික පාසල් අධ්‍යක්ෂවරයා මධ්‍යම හා සබරගමු පළාත්වල ගුරුවරු ස්ථාන මාරු කරන ලද අතර එහිදී ගුරු මාරු මණ්ඩල නොතකා පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීම වෙනුවෙන් ජාතික පාසල් අධ්‍යක්ෂවරයා යොදාවගෙන් ස්ථාන මාරු සිදු කර තිබුණි.

මෙම කි‍්‍රයාදාමයට ගුරු සංගම් දැඩි විරෝධය පළ කිරීමෙන් අනතුරුව අධ්‍යාපන ලේකම්වරයා ගුරු සංගම් නියෝජිතයින් ඇතුළත් අභියාචනා මණ්ඩලයක් පසුව පත් කරන ලදී. අනතුරුව අනෙකුත් පළාත්වල අතිරික්ත මාරුවීම් මාරු මණ්ඩල හරහා සිදු කිරීමට ද අධ්‍යාපන ලේකම්වරයා එකඟතාවය පළ කළ අතර ඒ අනුව මුලින් ම උතුරු මැද පළාතේ ස්ථාන මාරු ලේඛනය ගුරු මාරු මණ්ඩල හරහා සකස් වුවද ජාතික පාසල් අධ්‍යක්ෂවරයා එම ලේඛනය ද කි‍්‍රයාත්මක නොකරන ලදී.

එවැනි පසුබිමක නැවතත් වයඹ පළාතේ මෙලෙස අතිරික්ත ගුරුවරු ගුරුමාරු මණ්ඩලවලින් තොරව 2007/20 ජාතික ගුරු මාරු ප‍්‍රතිපත්තියට පටහැනිව නම් කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන අත්තනෝමතික කි‍්‍රයාදාමයක් බැවින් වහාම මෙම කි‍්‍රයාව නතර කොට විධිමත් මාරු මණ්ඩල හරහා අතිරික්ත ගුරුවරු හඳුනාගෙන ස්ථාන මාරු කිරීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සංගමය ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයාට ද ලංකා ගුරු සංගමය ලිඛිතව දැනුම් දී ඇති අතර තවදුරටත් මෙම කි‍්‍රයාදාමය පෙරට යන්නේ නම් ඊට එරෙහිව ගත හැකි උපරිම කි‍්‍රයාමාර්ග ගැනීමට ද පසුබට නොවන බව ද තවදුරටත් අවධාරණය කර සිටී.