පකිස්ථානු සරණාගතයින්ගේ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 1දා

පකිස්ථානු සරණාගතයින්ගේ නඩුවේ තීන්දුව සැප්තැම්බර් 1දා

August 29, 2014   03:22 pm

නීතී විරෝධි අයුරින් මෙරට රැඳී සිටින පාකිස්ථානු ජාතික සරණාගතයින් රටින් පිටුවහල් කිරීම අත්හිටුවමින් පනවා ඇති තහනම් නියෝගය ඉවත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් වු තීන්දුව සැප්තැම්බර් මස 01 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබේ.

පකිස්ථානු ජාතික සරණාගතයින් පිරිසක් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ඔවුන් මෙරටින් පිටුවහල් කිරීම තහනම් කරමින් අභියාචනාධිකරණය පසුගිය දා තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි.

එම තහනම් නියෝගය ඉවත් කරන ලෙස ආගමන විගමන පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අද අධිකරණයෙන් ඉල්ලා සිටි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

එම සරණාගතයින් පිරිස නීති විරෝධි අයුරින් වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටින බව සඳහන් කළ රජයේ නීතිඥවරයා ඔවුන්ගෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන බව ද ප්‍රකාශ කර ඇත.

එමෙන්ම එම සරණාගතයින්ගෙන් මෙරට තුළ මැලේරියාව වැනි රෝග පැතිර යාමේ අවධානමක් පවතින බවද රජයේ නීතිඥවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්ය.

අදාළ සරණාගතයින් අපරාධ ක්‍රියාවල නිරත වී ඇති බවට ද පොලිස් වාර්තා මගින් අනාවරණය වී ඇති බව රජයේ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේවෙතත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා කියා සිටියේ එම සරණාගතයින් පාකිස්ථානයට පිටුවහල් කිරීම තුළින් ඔවුන්ගේ ජිවිත වලට තර්ජන එල්ල වීමට ඉඩකඩ පවතින බවයි.

ඒ අනුව දෙපාර්ශවයේම කරුණු සලකා බැලු අභියාචනාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එම තහනම් නියෝගය ඉවත් කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් වු තීන්දුව ලබන 01 වනදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දී ඇත.