ආබාධිතයින් ඡන්ද මධ්‍යස්ථානවලට ගෙන යන්න මැ.කොගේ අනුමැතිය

ආබාධිතයින් ඡන්ද මධ්‍යස්ථානවලට ගෙන යන්න මැ.කොගේ අනුමැතිය

August 29, 2014   08:18 am

ශාරීරික ආබාධයන්ට ලක්වූවන් සහ දෘශ්‍යාබාධිත පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථාන කරා රැගෙන යාමට තවත් අයෙකුගේ සහය ලබාගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කිහිපයක් ද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් දැනුම් දි ඇති බව වාර්තා වෙයි.

ආබාධිත පුද්ගලයින් ග්‍රාම නිලධාරිවරයා මාර්ගයෙන් ඒ සඳහා ඉල්ලුම්පතක් සම්පූර්ණ කළ යුතු අතර රජයේ වෛද්‍ය නිලධාරියෙකු වෙත ඉදිරිපත් වී ඔහුගේ ආබාධිත තත්ත්වය පිළිබඳ තහවුරු කර ගත යුතුය.

එවැනි පුද්ගලයින් ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යාමට ඉදිරිපත් වන අය ද වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබිය යුතු අතර ඡන්ද විමසීමට අදාළ අපේක්ෂකයෙකු, දේශපාලන පක්ෂ නියෝජිතයෙකු වශයෙන්, ඡන්ද මධ්‍යස්ථානයක කටයුතු කරන අයෙකු හෝ වෙනත් ආබාධ සහිත අයෙකු නොවිය යුතු බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

ආබාධිත පුද්ගලයින් සහ ඔවුන් රැගෙන යන පුද්ගලයින් ද ඡන්දය භාවිත කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කළ යුතුය.