පේරාදෙණි සිසුන් අද පංති වර්ජනයේ - රිමාන්ඩ් සිසුන්ගේ තොරතුරු පොලීසියට දීලාලු

පේරාදෙණි සිසුන් අද පංති වර්ජනයේ - රිමාන්ඩ් සිසුන්ගේ තොරතුරු පොලීසියට දීලාලු

August 28, 2014   11:25 am

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨ නියෝජනය කරන සිසුන් අද (28) දිනයේ සංකේත පංති වර්ජනයක නිරත වන බව එම විශ්ව විද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමය පවසයි.

මහ ශිෂ්‍ය සංගමයේ සභාපති ලසන්ත අරුණ ශාන්ත මහතා සඳහන් කළේ පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

කළමනාකරණ පීඨයක් ස්ථාපිත කරන ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පසුගිය 21 වැනිදා සිට ගලහ මංසන්ධියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටිති.

ගලහ මංසන්ධිය අසළ අනවසර ඉදිකිරීමක් සිදුකළ බව පවසමින් අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පස්දෙනෙකු ලබන 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

මෙලෙස සිසුන් 05 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබීම හේතුවෙන් විශ්ව විද්‍යාලය තුළ නොසන්සුන්කාරි තත්ත්වයක් හටගෙන ඇති බව මහ ශිෂ්‍ය සංගමයේ සභාපති ලසන්ත අරුණ ශාන්ත මහතා පවසන්නේය.

රක්ෂිත බන්ධනාගාර ගත වූ සිසුන්ගේ තොරතුරු පොලිසිය වෙත ලබාදීමට විශ්ව විද්‍යාලයේම පිරිසක් කටයුතු කර ඇති බවට ද ඔහු චෝදනා කරයි.

ශිෂ්‍ය මර්දනය අඛණ්ඩව සිදුකරන්නේ නම් අඛණ්ඩ පංති වර්ජනයක් සඳහා යාමට සිදුවන බව ලසන්ත අරුණ ශාන්ත වැඩිදුරටත් සඳහන් කළේය.