නොරොච්චෝලේ ලෙඩේ අද සුව කරනවාලු

නොරොච්චෝලේ ලෙඩේ අද සුව කරනවාලු

August 28, 2014   09:37 am

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු අද (28) පෙරවරුවේ සිට යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඊයේ පස්වරුවේ සිට නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිටිණ.

නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයෙන් මෙගාවොට් 600 ක විදුලි ධාරිතාවක් මෙරට විදුලිබල පද්ධතියට එක් කර තිබුණි.

බලාගාරයේ දෙවන අදියරේ විදුලි උත්පාදන කටයුතු පසුගිය 13 වන දින සිට නතර වී ඇත්තේ එහි ටර්බයිනයේ ඇතිවු දෝෂයක් හේතුවෙනි.

එහි අළුත්වැඩියා කටයුතු තවත් දින 15 ක පමණ කාලයක් ගත වනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

එමගින් අහිමි වු මෙගාවොට් 300 ක විදුලි ධාරිතාව තෙවන අදියරේ පරීක්ෂණ ධාවන කටයුතු සිදුකිරීමෙන් ලබා ගත්තද එයද පසුගිය අගහරුවාදා දිනයේ සිට කාර්මික දෝෂයකට ලක්ව ඇත.

ඒ අනුව පළමු අදියරේ විදුලි උත්පාදන කටයුතු පමණක් සිදුවු අතර ඊයේ පස්වරුවේ සිට එහිද දෝෂයක් හටගෙන ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

ටර්බයිනයේ ඩයග්‍රමයක ඇතිවු දෝෂයක් ඊට හේතුවී ඇත.

අද පෙරවරුව වන විට පළමු අදියර යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවත් එමගින් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඇණහිටිය ද, ජල විදුලි බලාගාර වලින් සහ ඉන්ධන විදුලි බලාගාර වලින් විදුලි උත්පාදන කටයුතු සිදුකිරීම හේතුවෙන් මෙරට විදුලි පද්ධතියට බාධාවක් වී නොමැති බව වාර්තා වේ.