නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට සිට - එජාපය අද මැ.කො හමුවෙයි

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට සිට - එජාපය අද මැ.කො හමුවෙයි

August 28, 2014   09:18 am

ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු හෙට (29) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව නිල ජන්ද දැන්වීම් පත්‍රිකා ඊයේ දිනයේ තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලබාදීම ආරම්භ කර තිබේ.

අද දිනය වනවිට සියලුම නිල ජන්ද දැන්වීම් පත්‍රිකා තම දෙපාර්තමේන්තුව වෙත ලැබෙනු ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව හෙට දිනයේ සිට ලබන සැප්තැම්බර් 12 වනදින දක්වා නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සිදුකිරීමට නියමිතය.

සැප්තැම්බර් මස 07 වන ඉරු දින නිල ජන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

මේ අතර මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ජාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතය.

මැතිවරණ කොමසාරිස්වරයා එක් එක් පක්ෂ සමඟ තනි තනිව සාකච්ජා කිරීමට සිදුකළ ආරාධනයකට අනුව මෙම සාකච්ජාව පැවැත්වෙනු ඇත.

ඊයේ දිනයේ දී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයද මැතිවරණ කොමසාරිස්වරයා හමුවී සාකච්ජා පවත්වනු ලැබීය.