සේවක වර්ජනයත් එසේමයි - පෝලීමේ සිටි මව එතනම මරුට!

සේවක වර්ජනයත් එසේමයි - පෝලීමේ සිටි මව එතනම මරුට!

August 27, 2014   04:51 pm

පරිපුරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය විසින් දිවයින පුරා ක්‍රියාත්මක වෙද්දී අද (27) මහනුවර මහරෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි මවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම කාන්තාව මහනුවර මහරෝහලේ වෛද්‍ය සායනයකට පැමිණ ඇති අතර බොහෝ වේලාවක් පෝලිමේ රැදී සිටීම හේතුවෙන් රෝගී තත්ත්වයට පත්ව එම ස්ථානයේදීම මියාගොස් ඇති බව වාර්තා වේ.

අදාළ කාන්තාව රුධිර වාර්තාවක් හා ඖෂධ ලබා ගැනීම සඳහා පැමිණ ඇති බව සඳහන්ය.

මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර, මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවක් බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් මහනුවර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සදහන් කළේ හදිසි හෘදයාබාධයකින් මෙම කාන්තාව මිය ගිය බවට සැක කරන බවයි.

එහෙත් වැඩවර්ජනය හා මෙම කාන්තාවගේ මරණය අතර සම්බන්ධයක් පවතින බවට සිතිය නොහැකි බව ද රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

අවශ්‍යනම් පරිපුරක වර්ජනය හා මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව ද මහනුවර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේය.

මෙම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව ද අධ්‍යක්ෂකවරයා කීවේය.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පරිපූරක‍ වෛද්‍ය සේවා වෘත්තිකයින් ඊයේ උදෑසන සිට ආරම්භ කළ වැඩවර්ජනය තවමත් ක්‍රියාත්මකය.