දිවි නැඟුමේ 10,000ක් ඌවේ මැතිවරණ ව්‍යාපාරයට දින 4ක් දාලා - මැ.කොට ලිපියක්

දිවි නැඟුමේ 10,000ක් ඌවේ මැතිවරණ ව්‍යාපාරයට දින 4ක් දාලා - මැ.කොට ලිපියක්

August 27, 2014   03:32 pm

දිවි නැඟුම සංවර්ධන නිලධාරීන් 10,000ක් ලබන මස 05,06,07 හා 08 දිනවල රාජකාරී වේලාවේ ඌවේ මැතිවරණය වෙනුවෙන් යොදා ගැනීමට කටයුතු යොදා ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය මැතිවරණ කොමසාරිස් වෙත ලිපියක් යවමින් දන්වා සිටියි.

විවිධ සමීක්‍ෂණ, නියං ආධාර බෙදීම හා අධ්‍යාපන චාරිකා වලට මුවා වී කූට උපක‍්‍රම භාවිතා කරමින් මෙලෙස රාජ්‍ය නිලධාරීන් රාජකාරී වේලාව තුළ මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කලුගේ මැතිවරණ කොමසාරිස්වරයා වෙත යැවූ ලිපියක සඳහන් වෙයි.

එම ලිපිය වැඩිදුරටත් පහත පරිදිය.



මැතිවරණ කොමසාරිස්තුමා,
මැතිවරණ මහ ලේකම් කාර්යාලය,
රාජගිරිය.


මහත්මයාණෙනි,



මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඌවේ මැතිවරණ සඳහා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තු සේවකයින් 10,000 රැගෙන යාම සම්බන්ධ පැමිණිල්ල.



එළඹෙන සැප්තැම්බර් 05,06,07 හා 08 යන දිනයන්හි දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් දිවිනැගුම සංවර්ධන නිලධාරීන්(සමෘද්ධි සංවර්ධන නිලධාරීන්) හා ඔවුනට හිතවත් දේශපාලනික ක‍්‍රියාකාරීන් 10,000 (දසදහසක්) ඌව මැතිවරණය පැවැත්වෙන මොණරාගල හා බදුල්ල යන දිස්ත‍්‍රික්ක වෙත රැගෙන ගොස් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදවා ගැනීමට මේ වන විටත් සියලූ කටයුතු සංවිධානය කර ඇත.

දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධක්‍ෂ ජනරාල්ගේ උපදෙස් මත යැයි පවසමින් දිවිනැගුම දිස්ත‍්‍රීක් සම්බන්ධීකරණ නිලධාරීන් හා ආණ්ඩුවේ වෘත්තීය සමිතියක් වන සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් විසින් මෙම සියලූ කටයුතු සංවිධානය කරමින් සිටිති.

මෙය රාජකාරී කටයුත්තක් බවත් දිවයිනේ සෑම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයකින්ම දිවිනැගුම සංවර්ධන නිලධාරීන් අවම 50 මෙම කටයුත්තට සහභාගී විය යුතු බවට බදුල්ල හා මොණරාගල යන දිස්ත‍්‍රික්ක 02 හැර දිවයිනේ සියලූම දිස්ත‍්‍රික්කවල සේවයේ නියුතු දිවිනැගුම සංවර්ධන නිලධාරීන් වෙත වාචික උපදෙස් පමණක් ලබා දී ඇත.

ගමින් ගමට - දොරින් දොරට යන වැඩ සටහනට සමගාමීව ඌව පළාත තුළ අඩු ආදායම්ලාභීන් පිළිබඳව සමීක්‍ෂණයක් සිදු කිරීමට රැගෙන යන බවත් ඇතැම් දිස්ත‍්‍රික්ක වල සේවකයින් වෙත දැනුම් දී ඇත. තවත් දිස්ත‍්‍රික්කයකට පවසා ඇත්තේ නියං ආධාර බෙදීමට යන බවකි. තවත් දිස්ත‍්‍රික්ක වලට දැනුම් දී ඇත්තේ මෙය අධ්‍යාපන චාරිකාවක් බවකි.

දෙපාර්තමේන්තුවක කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු විධිමත් ක‍්‍රමවේදයක් තිබියදී වාචික උපදෙස් හා එහි ඇති පරස්පරයන් සම්බන්ධව කරුණු දැන ගැනීම සඳහා අප සංගමය විසින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධක්‍ෂ ජනරාල් ආර්.ඒ.කේ. රණවක මහතා වෙත මේ පිළිබදව ලිඛිතව දැනුම් දී කරුණු පැහැදිළි කර අතර ඒ පිළිබඳව අවධානය යොමු නොකිරීම තුළ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉහළ බලධාරීන්ගේද සහය මීට ලැබී ඇති බව අප වෙත හැඟී ගොස් ඇත.

තවද සැප්තැම්බර් මස 05,06,07 හා 08 යන දිනයන්හි ඌව පළාතෙහි සිදු කිරීමට නියමිත කටයුතු පිළිබඳ සේවකයින් හා දේශපාලන ක‍්‍රියාකරුවන් දැනුවත් කිරීමට විශේෂ පුර්ව සාකච්ඡා කිහිපයක් පහත ස්ථානයන්හි පැවැත්වීමට කටයුතු කර ඇත.

මෙම රැස්වීම් රාජකාරී කටයුත්තක් නම් රාජකාරී වේලාව තුළ විධිමත් ක‍්‍රමවේදයකින් තොරව වාචික උපදෙස් මත පමණක් කැඳවීමටද දිස්ත‍්‍රීක් දිවිනැගුම සම්බන්ධීකරණ නිලධාරීන් හා දිවිනැගුම කළමනාකරුවන් කටයුතු කර ඇත.



01. 2014.08.28 දින පෙ:ව: 11.00 - කොළඹ දිස්ත‍්‍රික් රැස්වීම - නාරාහේන්පිට අභයාරාමය.

02. 2014.08.28 දින පෙ:ව: 11.00 - ගම්පහ දිස්ත‍්‍රික් රැස්වීම - ගම්පහ සුමේධ විද්‍යාලය.

03. 2014.08.28 දින පෙ:ව: 11.00 - කළුතර දිස්ත‍්‍රික් රැස්වීම - කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයෙහිදී.

04. 2014.08.28 දින පෙ:ව: 11.00 - ගාල්ල දිස්ත‍්‍රික් රැස්වීම - ගාල්ල හෝල්ඩි ගොල් ශාලාව.

05. 2014.08.28 දින පෙ:ව: 11.00 - ගම්පහ දිස්ත‍්‍රික් රැස්වීම - සුමේධ විද්‍යාලය.

06. 2014.08.28 දින පෙ:ව: 11.00 - මාතර දිස්ත‍්‍රික් රැස්වීම - වැලිගම නගර සභා ශාලාව.

07. 2014.08.28 දින පෙ:ව: 9.00 - පුත්තලම දිස්ත‍්‍රික් රැස්වීම - හලාවත සුදසුන ශාලාව.

08. 2014.08.29 දින පෙ:ව: 9.00 - නුවරඑළිය දිස්ත‍්‍රික් රැස්වීම - නුවරඑළිය නගර ශාලාව.



මීට අමතරව මොණරාගල හා බදුල්ල යන දිස්ත‍්‍රික්ක වෙත සේවකයින් රැගෙන යාමට ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයකට එක් බස් රථයක් බැගින් ලබා දි ප‍්‍රවාහන පහසුකම් සැලසීමට කටයුතු කර ඇත.

තවද එම දින හතර සඳහා රජයේ නවාතැන් ස්ථාන හා ආහාර නොමිලයේ සපයන බවද දැනුවත් කර ඇත.



මැතිවරණ කොමසාරිස්තුමනි,

විවිධ සමීක්‍ෂණ, නියං ආධාර බෙදාදීම් හා විවිධ අධ්‍යාපන චාරිකා වලට මුවා වී කූට උපක‍්‍රම භාවිතා කරමින් රාජ්‍ය සේවකයින් රාජකාරී වේලාව තුළ ඌව පළාත් සභා මැතිවරණය වෙනුවෙන් යොදවා ගැනීමට ඇති සැලසුම පිළිබඳව උක්ත කරුණු මගින් අප සංගමය විසින් ඔබගේ විශේෂ අවධානය පිණිස යොමු කරවමු.

මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී රාජ්‍ය සේවකයින් මෙන්ම රාජ්‍ය දේපළ ඒ සඳහා යොදවා ගැනීම මැතිවරණ නීතියට අනුව බරපතළ වරදකි. තවද මෙවැනි සංවිධානාත්මක මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ස්වාධීන හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට මෙය බරපතළ බාධාවක් වේ.

එම නිසා උක්ත කරුණු සැලකිල්ලට ගෙන ඌවේ මැතිවරණය වෙනුවෙන් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් සේවකයින් යොදවා ගැනීම හා ඒ වෙනුවෙන් පැවැත්වෙන සියලූ පුර්ව සාකච්ඡා නැවැත්වීමට කඩිනම් පියවර ගන්නා මෙන් කාරුණිකව අප සංගමය මෙයින් ඉල්ලා සිටිමු. මෙයට,



චාමර මද්දුම කලූගේ,
ප‍්‍රධාන ලේකම්.